(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විපක්ෂය අද චෝදනා කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ අඩුම තරමින්  ලියුම්කවරයක්වත් ගලවපු නැති ටෙන්ඩරයක් ගැන යැයි  මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මහා මාර්ග  අමාත්‍යවරයා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

අපිට සල්ලි හොයාගන්න බැරිනම් අපි වෙනස් කරනවා. ඒකට තමයි රජයක් තියෙන්නේ.  කැබිනට් එකේ එකගතාවයෙන් අපි වෙනස් කරනවා.

අපේ රජය කොවිඩ් කොවිඩ් කියලා ආපස්සට යන ආණ්ඩුවක් නෙවෙයි. අපේ ජනාධිපතිතුමා එන්නත ගෙනත් ජනතාව ආරක්ෂා කරගෙන මේ රට ඉදිරියට ගෙනියනවා. අපිට ආර්ථික ප්‍රශ්න තියනවා. නෑ  කියන්නේ නැහැ. අපිට තියෙන්න් ඩොලර් ප්‍රශ්නයක්. ලෝකයේ අනිත් රටවල් එක්ක ගත්තම  අද හැම අතින්ම සාර්ථක වැඩපිළිවෙලක්  ගෝඨාභය ජනාධිපතිතුමා ගෙනයනවා කියන එක අපි පිළිගන්න ඕන.

මිරිගම ඉදලා කඩවතට නැත්නම් කඩවත ඉදන් මීරිගමට. ඒ සමාගම  ගැන නේ මේ කියන්නේ. ඒ සමාගමට ඔබතුමාලා කොහොමද ඒ කාලේ කිව්වේ.  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට  මන්තීරු හයක්  වටරවුම්   පාරේ බිලියන 66කට දෙනවා කිව්වා. රත්තරන්වලින් හදන්න පුලුවන් ඇස්තමේන්තු කියලා එදා මඩ ගැහුවා. මඩ ගහලනේ ඡන්දය දිනා ගත්තේ. නමුත් ඔබතුමාලගේ ආණ්ඩුව මොනවද කෙරුවේ. ඔබතුමාලාගේ ආණ්ඩුව බිලියන 66යේ මන්තීරු 06 මන්තීරු 02 ක් අඩු කරලා  බිලියන 66කට දුන්නා.

මම  හිටපු  ඇමතිවරුන්ට ඇගිල්ල දික්කරන්නේ නැහැ. නමුත් මේවාට ගොඩක් අය හවුල්. ගයන්ත මන්ත්‍රීතුමා හවුල් නැහැ. එතුමා පිරිසිදු දේශපාලනඥයෙක්. ඒක කොයි පැත්තේ හිටියත් මම කියනවා. හැම දාම මම කියපු දෙයක්. මෙතන හිටියනම් ඕක අහන්නේ ඔබතුමා නෙවෙයි වජිර අබේවර්ධන.

ලක්ෂ 25,000 ටෙන්ඩරය ලක්ෂ 43,000 කට දුන්නේ කඩවත ඉදන් මීරිගමට. ලක්ෂ 18,000ක් හොරකම් කෙරුවා, මාස තුනක් යන්නත් කලින්. යහපාලන ආණ්ඩුව ඇවිත් අගෝස්තු මාසය වෙද්දී ආරම්භ කෙරුවා. අදට අවුරුදු හතයි ඔය සමාගම අරගෙන. අඩුම ගානේ තමුන්නාන්සේලා මේක ටෙන්ඩරයකින්වත් නෙවෙයි දුන්නේ. ඒකෙත් බිලියන 20 යි ගෙව්වේ. බිලියන 36ක් ගෙව්වේ අපේ ආණ්ඩුවෙන්.

අපිටත් ඒක කැන්සල් කරන්න තිබුණා. නමුත් අපි බැලුවේ මේ අධිවේගී මාර්ග නතර නොකර ඉක්මනින් මේ රටේ මිනිසුන්ට හදල දෙන්න. ඊළඟට  මොකද්ද වුණේ. ඊළගට මේ දෙවනි පැකේජ් එක මිරිගම  සිට කුරුණෑගලට. ඒකෙදිත් මම කියන්නම් තමුන්නාස්ලො දුන්න විදිය.