( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රාජකාරී කටයුතු කිරීමේදී තමාට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසු ඉහළ  නිලධාරීන්ගේ හිරිහැරයන්ට  ලක්  වීමට සිදු වීම  නිසා රජයේ නිලධාරීන්  සාධාරණ පතා  අධිකරණයට  පැමිණීමට මැලිවන බව නීතීඥ  දර්ශන කුරුප්පු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

මාවතගම  පොලිස් ස්ථානාධිපතිව    සිටි  තමන් නීතියට පටහැනි අයුරින්  වාරියපොළ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස   ස්ථාන මාරු කිරීමෙන්  මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ට තීරණය කර  , වහාම එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස පොලිස්පති වරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරන ලෙස ඉල්ලා  ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිල සේනාධීර ජයකොඩි  මහතා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම   කැඳවූ අවස්ථාවේදී  නීතීඥවරයා  මේ බව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු  කිරීමෙන් පසු  සිය සේවා දායකයා ඉහළ නිලධාරීගේ හිරිහැරයට ලක් ව ඇතැයි නීතීඥවරයා  කීවේය.

මුර්දු ප්‍රනාන්දු,  ගාමිණී අමරසේකර,  අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම  කැඳවනු ලැබිණි .

එහිදී  පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මේබව  සදහන් කලේ ය.

කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම දෙසැම්බර් මස 14වැනිදා නැවත කැඳවීමට තීරණය කලේය. 
 
මෙම  පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , නියෝජ්‍ය පොලිස්පති එම්.එන්.සිසිර කුමාර ,  කුරුණෑගල කොට්ඨාසය  බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ .ජේ.වයි.බී  ක්‍රිෂාන්ත ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

මෙම අත්තනෝමතික ස්ථාන මාරුව හේතුවෙන් තම වෘත්තීය ගෞරුත්වයට සහ කීර්ති නාමයට හානි සිදුවී ඇති බවද , තම වෘත්තීය දියුණුවට බාධාවක් බවද පෙත්සම්කරු සිට පෙත්සමෙන් කියා සිටී.

පෙත්සම්කරු ඉතා සංකීර්ණ අපරාධ  විමර්ශනයට සහභාගී වී ඇති අතර ,  ඉතා භයානක අපරාධකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බවද පෙත්සමේ සදහන් වේ.

ශ්‍රී ලංකා පොලිස් සේවය් විශිෂ්ඨ සේවා වාර්තාවකට හිමිකම් කියන පෙත්සම්කරු  ස්ථාන මාරු  කිරීම මගින්   මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද පෙත්සමකරු අධිකරණයෙන් ඉල්ලා සිටී.