කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ කෙරෙන විමර්ශනයට අදාළව පාර්ලිමේන්තුවේ    විධායක ගෘහ පාලක ඉන්දික තුෂාර මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද  (26) පැයක පමණ  කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

අල්ලස් කොමිසමෙන් කෙරැණු දැනුම් දීමක් අනුව, ඔහු  රජමල්වත්ත මාවත  කතානායක නිල නිවසේ රාජකාරී සඳහා ගෘහපාලන හා නඩත්තු අංශයෙන් යෙදවූ ( 2025 ජනවාරි 01  වැනිදා  සිට  2025 මාර්තු පළමු වැනිදා දක්වා) සේවකයන් සම්බන්ධ වාර්තාවක්  සහ  කතානායක නිල නිවසේ ආරක්ෂක නිලධාරීන් රාජකාරීයේ යෙදවීමට අදාල ලේඛනද රැගෙන එම කොමිසම හමුවේ අද පෙනී සිටියේය.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට  එරෙහිව දූෂණ විරෝධී පනත  යටතේ කෙරෙන විමර්ශනයට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා  විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පරිපාලන ( මුදල් සහ ගිණුම්) රෝහිත පද්මසිරි මහතාගෙන්ද   ඊයේ ( 25) පැය තුන හමාරක පමණ කාලයක්  ප්‍රශ්න කර  ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

සුජිත් හේවාජුලිගේ