(යොහාන් භාසුර)

ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචි වී මේ වසරේ විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ 3 කට වැඩි සංඛ්‍යාවක් පිටත්ව ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගතවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (18) පැවසීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස තමන් රාජකාරි ආරම්භ කරන විට මසකදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය සංඛ්‍යාව 300 ත් 400 ත් අතර පැවතිය ද පසුව මසකට ශ්‍රී ලාංකිකයින් දහසකට ආසන්න පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගත් බවත් අද දිනය වන විට 6120 ක පිරිසක් කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් අමාත්‍යවරයා කීය.

එම සංඛ්‍යාව 2004 වර්ෂයෙන් පසු දකුණු කොරියාව බලා පිටව ගිය වැඩිම ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව බව කී අමාත්‍යවරයා මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතරින් වැඩිම පිරිස ලෙස 76,579 ක් කුවේට් රාජ්‍යයට පිටත්ව ගොස් ඇති බව ද සඳහන් කළේය.

කටාර් රාජ්‍යයට 69,992 ක්, සෞදි අරාබියට 51,421 ක් සහ ජපානයට 4,410 ක් මෙම වසරේ පිටත්ව ගොස් ඇති බවත් විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්‍යානුකූලව මෙරටට ගෙන්වා ගැනීම සඳහා ද පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා කීය.

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද (18) පැවති සැමරුම් උත්සවයේදී අමාත්‍යවරයා එසේ පැවසීය.