(ඩයනා උදයංගනී)

පාසල් දරු දැරියන් මත් උවදුරින් බේරා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ගෙනෙන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිංගප්පූරුව වැනි රටවල් අනුගමනය කරන දරුණු දඩුවම් ලබා දිය යුතු යැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ඔවුන්ට මරණ දඩුවම නියම කිරීම සුදුසු බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පරීක්ෂා කිරීම් සිදුකළත්, එම උත්සාහය සාර්ථක කරගැනීමට නම් පාසල කරා මත්ද්‍රව්‍ය පැමිණෙන ප්‍රධාන මාර්ග අවහිර කළ යුතු බව ද අමාත්‍යවරිය කීවාය.

ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව පැවසුවේ මුල්විය සංවර්ධනය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පෙරපාසල් පාලිකාවන් හා නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය සම්පාදනය වැටලීම වහාම කළ යුතු අතර, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යයන්ට සිදු වූ දේ හෙළි කිරීම ද මත්ද්‍රව්‍ය කාර්යංශයේ වගකීමක් යැයි ද අමාත්‍යවරිය දරුවන් අතට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට නම් ගුවන හා සාගරය ඔස්සේ මත්ද්‍රව්‍ය පැමිණෙන මාර්ග පරීක්ෂා කළ යුතු බව ද කීවාය.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය විවිධ ක්‍රමවලින් යළි බැහැරට යන බව කී අමාත්‍යවරිය එවැනි අයථා දෑ සිදුනොවන සේ ඒවා විනාශ කිරීමට පියවර ගත යුතු බව ද පැවසුවාය.