(සුමිත් ප්‍රේමතිලක, නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රෝගීන්ට ප්‍රතිකාර කරන මුවාවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදී  , හදුනානොගත් මත්කරල් අලෙවි කළ බව කියන වෛද්‍යවරයෙක් පෙරේදා (30) රාත්‍රීයේ පානදුර උතුර පොලිසිය සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙහිදී  අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර, ගොරකපොල  ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි  වෛද්‍යවරයකු බව පොලිසිය කීය.

පානදුර ප්‍රදේශයේ මව්පියන් සහ විහාරාධිපති හිමිවරුන් විසින් කරන ලද පැමිණිලි වලට අනුව , ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ගේ උපදෙස් පරිදි මසකට අධික කාලයක් ආවේක්ෂණ රාජකාරි සිදු කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් ද සමගින්  මෙම වැටලීම කර තිබේ .

පානදුර,  පල්ලිය මුල්ල ප්‍රදේශයේ ඔහු විසින් පවත්වාගෙන යන වෛද්‍ය මධ්‍යස්ථානයකදී එදින රාත්‍රි 7.30 ට පමණ වැටලීම කර හඳුනා නොගත් මත් කරල් සහ මත් පෙති විසිදහස් තිස්පහක් භාරයට ගත්බව පොලිසිය කියයි .

එක් මත් කරලක්  රුපියල් දෙසීයක මුදලකට අලෙවි කරන බවට , තොරතුරු ලැබී ඇති බැවින් පොලිස් භාරයට ගෙන ඇති මත් කරල් වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න බැව්ද පොලිසිය කීය .

සැකකාර වෛද්‍යවරයා පානදුර මූලික රෝහලේ රාජකාරි  කරන බවට  මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව පොලිසිය කීය .

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

පොලිස්පතිවරයාගේ නියෝග මත ,පානදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් , විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක අංජන ඇතුළු නිලධාරීහු පිරිසක් වැටලීමට එක්වූහ  .