(යොහාන් භාසුර)

අබලන්ව භාවිතයෙන් ඉවත් කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර, නැවත ධාවනයට එක්කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී අද (22) පැවැත්විණි.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බස් රථවල ප්‍රමිතිය නිරීක්ෂණය කළ අතර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවයකයන් විස්තර විමසා ඔවුන් දිරිමත් කළේය.

වාහන ආනයනය සීමා කිරීමත් සමග බස් රථ ගෙන්වීම ද අත්හිටුවීමෙන් බස්රථ හිඟයට හා විනිමය ඉතිරිකිරීම සඳහා අබලන්ව ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත්වැඩියාවට පියවර ගත් බවත් එහි පළමු අදියර යටතේ බස් රථ 273 ක් අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම 2020 වසරේ දෙසැම්බර් කටයුතු කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

දිවයින පුරා පිහිටි ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කළ බස් රථ 200 ක් දෙවන අදියර යටතේ අලුත්වැඩියා කෙරුණු බවත් ඒ සඳහා රුපියල් මිලියන 136 ක් වැය කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදේශකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ පූර්ණ සහාය ඇතිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝ සහ ලක්දිව ඉංජිනේරු සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.