(අංජුල මහික වීරරත්න)

බලශක්ති අමාත්‍ය ධුරය ආණ්ඩුවේ දැනට සිටින අමාත්‍යවරයකු වෙත පැවරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

බලශක්ති අමාත්‍ය ධුරයට අලුත් මුහුණක් පත් නොකර අමාත්‍ය මණ්ඩලයේ කෙනකුටම එහි වගකීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම ධුරයෙන් සිකුරාදා(17) ඉල්ලා අස්වීමෙන් පසු අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

ගල් අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම පවත්වන විමර්ශනයට ඉඩ සලසමින් තමා ඉල්ලා අස්වන බව අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ ලිපිය යවමින් දැනුම් දී තිබිණි.

බලශක්ති අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එම ධුරයෙහි කාර්යයන් ජනාධිපතිවරයා වෙත පැවරෙන අතර ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී නව බලශක්ති අමාත්‍යවරයා පත් කරනු ඇත.