(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දීය ධජය සහිතව යාත්‍රා කළ නෞකා දෙකකට හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරාන ප්‍රහාරක බෝට්ටු වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් වෙඩි තැබීමෙන් එම නෞකාවලට හානියක් සිදුව නැති බවත් එහි කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි.

කෙසේ වෙතත්, ඕමානයේ ඊසාන දෙසින් පිහිටි නැව් මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් එම නැව් මාර්ගය තෙල් ප්‍රවාහනයට ඉතාමත් වැදගත් එකක් බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එම වැඩි තැබීම හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා නොකර එම නැව් දෙකට ආපසු හැරීමට සිදුව ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

ජග් අර්නාව් සහ සන්මාර් හෙරල්ඩ් යන නෞකා දෙකට ඉරාන ප්‍රහාරක බෝට්ටු මෙලෙස වෙඩි තබා ඇති බවත් ඉන් එක් නෞකාවක් විශාල ඉන්ධන ප්‍රවාහන නෞකාවක් බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.

හෝමුස් සමුද්‍ර සන්ධියේදී සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉරාන තානාපතිවරයා කැඳවීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇති බවත් එහිදී වෙඩි තැබීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි කණස්සල්ල ඉරාන තානාපතිවරයාට දැනුම් දී ඇති බවත් පැවැසෙයි.