හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ වෙළෙඳ නෞකාවලට ඉරානය පහර දීමත් සමග, ඉරාන තෙල් අපනයනයට එරෙහිව පනවා තිබූ සම්බාධක නැවත  ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකාව තීරණය කළේය. ඒ සමගම, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 5 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ක්ෂණිකව ඉහළ ගියේය.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 75 දක්වා ඉහළ ගිය අතර, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 72 ක් ලෙස සටහන් විය.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ නෞකාවලට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පහර දුන්නේ ඊයේ ය. ඊට ප්‍රතිචාර දක්වමින්, ඇමෙරිකාව ඉරාන විප්ලවීය හමුදාවේ ඉලක්කවලට පහර දුන්නේය. ඒ සමග ඉරානය ද පෙරළා අසල්වැසි අරාබි රටවල ඇමෙරිකන් හමුදා ඉලක්කවලට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ නෞකාවලට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පහර දීම, කිසිසේත්ම පිළිගත නොහැකි බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති අතර, ඉරානයට තවත් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇගවීමක් ද කර ඇත.

පසුගිය දා ඇමෙරිකාව සහ ඉරානය අතරේ අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට අදාළව, ඉරාන තෙල් අපනයනයට එරෙහිව පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාව පියවරගෙන තිබුණි. ඒ අනුව, ලබන අගෝස්තු 21 වැනිදා දක්වා තෙල් අලෙවි කිරීමට ඇමෙරිකානු භාණ්ඩාගාරය ඉරානයට අවසර දී තිබුණි.

හෝමූස් හරහා යාත්‍රා කළ නැව්වලට ඉරානය පහර දීමත් සමග ඇමෙරිකානු භාණ්ඩාගාරය තීරණය කළේ ඉරාන තෙල් අපනයනයට එරෙහිව පනවා තිබූ සම්බාධක යළි පැනවීමටය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 5 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ක්ෂණිකව ඉහළ ගියේ ඒ අනුවය.