(තිලකරත්න දිසානායක)

මල්වතුහිරිපිටිය, බුත්පිටිය මහ විදුහල් ආපන ශාලාවට මත් කරල් වර්ගයක් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී අනාවරණය වූ කරුණු මත මත් කරල් 5500 ක ප්‍රමාණයක්ද සමග 68 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයකු අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාසය අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

විදුහල් ආපන ශාලාවෙහි මත් ද්‍රව්‍ය තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන් බව කියන තැනැත්තා , කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු මත සිද්ධියට අදාලව තවත් සිව් දෙනකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අනුව අනාවරණය වූ කරුණු මත නිට්ටඹුව, රුග්ගහවිල ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වා ගෙන යන ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් මත් කරල් ලබා ගැනීම සිදු කළ බව පොලීසිය පවසයි.

මේ අනුව ඉකුත් 9 වෙනි දින රාත්‍රියේ පොලිස් උපාය දූතයකු යොදවා ආයුර්වේද වෛද්‍යවරයාට අයත් බෙහෙත් ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී මත්වීම පිනිස යොදා ගන්නා බව කියන කරල් 5500 ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 55 ක මුදලක් සමග ආයුර්වේද වෛද්‍යවරයා මෙලෙස සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි.

විදුහල් ආපන ශාලාවට මත් කරල් වර්ගයක් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් පේමරත්න මහතාගේ උපදෙස් පරිදි ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ සහ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා ඇතුලු සැරයන් ලසන්ත (35084) , කොස්තාපල් වරුන්වන සේනානායක ( 79413), හිරිපිටිය ( 102065), විනෝද් ( 94006) සහ හෙට්ටිගේ ( 1867) යන නිලධාරීහු වැඩි දුර පරීක්ෂණ සිදු කරති.

අත් අඩංගුවට පත් සැකකාර ආයුර්වේද වෛද්‍යවරයා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.