(අමදෝරු අමරජීව )

ත්‍රිකුණාමලය, කුච්චවේලි, පිච්චමල් විහාරය අසල පැරණි ආරාම සංකීර්ණයේ මේ දිනවල සිදුකරන පර්යේෂණ කැණීමේදි මුල් වරට සොයාගනු ලැබූ පැරණි පොකුණක් හා එහි නටබුන් ප්‍රථම වරට අද (10) ජන මාධ්‍යයට හා පාසල් සිසුන්ට පෙන්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

ක්‍රිස්තු පූර්ව එක හා දෙක සියවස් දක්වා දිවෙන මෙම ආරාම සංකීර්ණය මතුකර ගැනීම සඳහා ස්ථාන හතරක පර්යේෂණ කැණීම් හතරක් සිදු කරද්දී භූමියේ මධ්‍යගත ස්ථානයේ සිදුකළ එක් පර්යේෂණ කැණීමේදී මෙම පැරණි පොකුණේ බිත්තිය හමුවීමත් සමග මෙහි පැරණි පොකුණක් ඇති බවට පළමු වරට තහවුරු කරගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ හා කැණීමේ අධීක්ෂණ නිලධාරී ඩබ්.යූ.සුරංග පෙරේරා මහතා පැවසීය.

මේ අනුව මෙම පැරණි පොකුණ සහිත නටබුන් සම්පූර්ණයෙන් මතුකර ගැනීම සඳහා කැණීම් අඛණ්ඩව සිදු කිරීමට කටයුතු කරන බවද මෙම පොකුණ සම්පූර්ණයෙන් මතුකර ගත් පසු මහායාන සම්ප්‍රදාය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි වෙතැයිද සහකාර අධ්‍යක්ෂවරයා කීහ.