(නිමල් ජයරත්න)

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මායිම්ව පිහිටා ඇති වැලිකන්ද මුතුගල විල්ලුවේ දිගු කලක සිට කුඹුක් ගස් කපා අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව  පරිසරවේදීහු සඳහන් කරති.

කුඹුරු අස්වැද්දීමේ මුවාවෙන් මෙම ජාවාරම සිදු කරන බවත්, වසර සියයකටත් වඩා ඉපැරැණි අහස උසට වැඩුණු කුඹුක් ගස් කපා ඒවා ටයිල් නිෂ්පාදනය කිරීම සඳහා වාලච්චේන, මඩකලපුව, ඕටමාවඩි ඇතුළු ප්‍රදේශ වලට හොර රහසේම රාත්‍රී කාලයේ ප්‍රවාහනය කරන බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.

මේ වන විට මුතුගල විල්ලු රක්ෂිතයේ ඉපැරණි කුඹුක් ගස් 50 කට වැඩි ප්‍රමාණයක් වනසා විනාශ කර ඇති අතර, එම ශාක කඳන් රාත්‍රී කාලයේ ලොරිවලට පැටවීමට සූදානම් කර තිබෙන බවද මුතුගල සහ කරපොල ඇතුළු අවට ගම්මානවල ගොවීන් සඳහන් කරති.

අප මුතුගල විල්ලූ රක්ෂිතයේ සිදුවන මෙම කුඹුක් ගස් විනාශය පිළිබඳ වැලිකන්ද අඩවි සහකාර කේ. ඩී. ජානක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම ජාවාරමට සම්බන්ධ සැකපිට මුතුගල ගම්මානයෙ තිදෙනකු අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බවයි.