(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන ආයතනයකින් පුරවැසියන්ට ඉටු විය යුතු සමස්ත කාර්යභාරය හඳුනාගෙන, ඉන් ඩිජිටල් පද්ධතියට ඇතුළත් කළ හැකි සහ ඇතුළත් කළ නොහැකි සේවාවන් මොනවාදැයි වෙන්කර හඳුනා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.

දැනට පවතින පද්ධතිවලින් එම සියලු සේවාවන් ආවරණය වන්නේදැයි පරීක්ෂා කර බලන ලෙසත් ජනාධිපතිවරයා කීය.

මහජනතාවට වඩාත් කඩිනම්, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය සේවාවක් සහතික කිරීම අරමුණු කරගනිමින් රජය ක්‍රියාත්මක කරන ඩිජිටල් පරිවර්තන වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් දැනට සංවර්ධනය කරමින් පවතින “පළාත් පාලන ආයතන ඩිජිටල්කරණ ජාතික රාමුව” පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

විවිධ ආයතන මගින් වෙන් වෙන්ව ක්‍රියාත්මක කරන වෙනස් පද්ධති වෙනුවට සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි තනි ජාතික පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයත්, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයත් මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.