(සුජිත් හේවාජුලිගේ)

පළාත් සංචරණ සීමා ඉවත් කළේ විනෝද ගමන් යෑමට හෝ වෙනත් අනවශ්‍ය ගමන් බිමන් යෑම සඳහා අවස්ථාව සැලසීමට නොවේ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

පළාත් සංචරණ සීමා ඉවත් කළේ මහජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා යැයිද හෙතෙම සඳහන් කළේ‍ය.

ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් දිගටම කටයුතු කළ යුතු බව පැවසූ ගුණවර්ධන මහතා එසේ කටයුතු නොකළහොත් කොරෝනා රැලි යළිත් මතු වනු ඇතැයිද පැවසුවේය.

පළාත් සංචරණ සීමා ඉවත් කළත් ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේ‍ය කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා පනවනු ලැබූ පළාත් අතර සංචරණ සීමා රජය විසින් ඊයේ(31) අලුයම 4.00 සිට ඉවත් කරනු ලැබීය.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා පළාත් සංචරණ සීමා ඉවත් කෙරෙන බව රජය නිවේදනය කළේය.

පළාත් සංචරණ සීමා මාස දෙකකට වැඩි කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූයේය.