(මහේෂ් කිර්තිරත්න)

හෙරෝයින් ජාවාරමේ යෙදුණු බව කියන උකුවෙල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකු ඇතුලු කාන්තාවන් දෙදෙනකු මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය කියයි.

අත්අඩංගුවට ගත් මෙම මන්ත්‍රිවරයා සන්තකයේ තිබි හෙරෝයින් මිලිගෑම් 2600ක ප්‍රමාණයක්ද අනෙක් සැකකාර කාන්තාවන් සන්තකයේ හෙරෝයින් මිලිගෑම් 2500ක ප්‍රමාණයක්ද තිබි හමුවු බවද පොලිසිය කියයි.

සැකකාර මන්ත්‍රිවරයා මිට පෙර අවස්ථා ගණනාවකදිම සොරකම් සහ වෙනත් සිද්ධීන් සදහා අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත්ව ඇප ලබා සිටි අයකු බවත් ඔහුට විරුද්ධව ළමා අපයෝජන සිද්ධියකට මහාධිකරණයේ නඩුවක් පවතින බවත් පොලිසිය පවසයි.

මොහු මෙම නරිකන්ද ප්‍රදේශයේ සැගව සිටිමින් මෙම හෙරෝයින් ජාවාරමේ නිරත වි ඇති බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වු බවද පොලිසිය කියයි.