(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් පවරා ඇති නඩු විභාග නොකර බහා තැබිය හැකිද? නොහැකිද? යන්න පිළිබඳ නියෝගය දෙසැම්බර් 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා අද (31) දැනුම් දුන්නේය.

මෙම නඩු වල දෙවැනි විත්තිකරු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩුව විභාග නොකොට බහා තබන්නේ නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි නඩුවද විභාග නොකොට බහා තබන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එලෙස දැනුම් දුන්නේය.

පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් විසින් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවල වගඋත්තරකරුවන් වශයෙන් හිටපු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කොට ඇත.

පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් විසින් වන්දි ඉල්ලා පවරා ඇති නඩු 182 ක් අතරින් නඩු 33ක් මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා ඉදිරියේ කැඳවන ලදී.

ඒ අවස්ථාවේදී මෙම වන්දි නඩු වල දෙවෙනි විත්තිකරු වශයෙන් නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ටේ්‍රවෝ ප්‍රනාන්දු මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයා මේ වන විට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා බවත් ඒ අනුව ඔහුට ජනාධිපති මුක්තිය හිමිවන බවත් දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 35 (1) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙලෙස මුක්තිය හිමිවන බවත් එම ප්‍රතිපාදන අර්ථනිරූපනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සැප්තැම්බර් 26 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද තීරණය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති මුක්තිය හිමිවන බව දැනුම් දුන් නීතීඥ ට්‍රේවෝ ප්‍රනාන්දු මහතා ඔහුට එරෙහි නඩු බහා තබන්නැයි ඉල්ලා සිටියේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වරුණ සේනාධීර මහතා කරුණු ඉදිරිපත් කරමින් මීට පෙර අවස්ථාවක සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩුල්ලක තීන්දුවකට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු බහා තැබීමට කරන ඉල්ලීම සම්බන්ධයෙන් හබ නොකරන්නේ යැයි කීය.

මෙම නඩු බහා තැබීම කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරය හොබවන කාල සීමාව සඳහා පමණක් වන බවත් ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත් වු පසු මෙම නඩු සම්බන්ධයෙන් ඔහු යළි වගකීමෙන් බැඳෙන බවත් පෙන්වා දුන් නීතීඥ වරුණ සේනාධීර මහතා ඔහුට විරුද්ධව නඩු කටයුතු යළි ආරම්භ කිරීමේ අයිතිය මෙහි පෙත්සම්කරුවන්ට ඇතැයිද පැවසීය.

වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු ඉදිරිපත් කරමින් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මඟින් සහන ඉල්ලා ඇත්තේ සියලුම වගඋත්තරකරුවන්ගෙන් එක්ව සහ වෙන් වෙන්ව බැවින් වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව බහා තබන්නේ නම් තම සේවාදායක වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුලු සියලු වගඋත්තරකරුවන්ට එරෙහි නඩු බහා තැබිය යුතු යැයිද පැවසීය.

වගඋත්තරකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා ගත් ස්ථාවරය තමන්ද ගන්නා බව දැනුම් දුන්හ.

ඒ අවස්ථාවේදී පෙත්සම්කරුවන්ගේ නීතීඥ වරුණ සේනාධීර මහතා කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ලේ සහන, සියලුම විත්තිකරුවන්ගෙන් එක්ව මෙන්ම, වෙන් වෙන්ව ද ඉල්ලා ඇති බැවින් වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව බහා තැබුවත්, අනෙක් වගඋත්තරකරුවන්ට එරෙහි නඩු පවත්වාගෙන යෑමට කිසිදු නෛතික බාධාවක් නොමැති හෙයින් සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් කරන ඉල්ලීම් ප්‍රතික්ෂේපප කරන්නැයි ඉල්ලා සිටියේය.

මෙම වන්දි නඩුකර පවරා ඇත්තේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සහ එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ අහිංසක සාමාන්‍ය ජනතාව විසින් බවත්, පාස්කු ප්‍රහාරය සිදු වී වසර තුන හමාරකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇතත්, මේ වන තෙක් එම අසරණ ජනතාවට කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති පසුබිමක් තුළ විවිධ තාක්ෂණික කාරණා ඉස්මතු කරමින් එම වින්දිත ජනතාවට යුක්තිය සහ සාධාරණය ඉටුකිරීම පමා කිරීමට කටයුතු කිරීම පිළිබඳ තමා කණගාටු වන්නේ යැයි කී නීතීඥ වරුණ සේනාධීර මහතා ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත රනිල් වික්‍රමසිංහ මහතාට මුක්තිය හිමිවීම හේතුවෙන් ඔහුට එරෙහි නඩුව බහා තැබීමට ඉල්ලා සිටියත්, පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉටුකිරීමේ ප්‍රමුඛතම වගකීම සහ හැකියාව මේ මොහොතේ ඇත්තේ ප්‍රහාරය සිදුවන විට රටේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම වර්ථමානයේ මෙරට විධායක ජනාධිපතිධූරය හොබවන රනිල් වික්‍රමසිංහ මහතාට බැවින් ඒ සම්බන්ධයෙන් ඔහු ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයිද කීය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ පිළිබඳ නියෝගය දෙසැම්බර් මස 15 වන දින ප්‍රකාශයට පත්කරන බව දැනුම් දුන් විනිසුරුවරයා ලිඛිත දේශන මසක් ඇතුලත ගොනු කිරීමට සියලු පාර්ශ්වයන්ට නියම කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් දිලුම් ප්‍රනාන්දු, කෞශල්‍යා ප්‍රනාන්දු, නදීෂා පෙරේරා සහ ඈන් සෙනෙවිරත්න යන නීතීඥ මහත්ම මහත්මීන් ගේ උපදෙස් මත නීතීඥ ඉන්දික බණඩාර අබේකෝන් සමඟ නීතීඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටියේය.

පළමුවන වගඋත්තරකරු වෙනුවෙන් නීතීඥ ශහීඩා බාරි සමඟ ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාද දෙවන වගඋත්තරකරු වෙනුවෙන් වෙනුවෙන් නීතීඥ උදානි කරුණාරත්න මහත්මියගේ උපදෙස් මත නීතීඥ ට්‍රේවෝ ප්‍රනාන්දු මහතාද, 03 සහ 04 වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥ ලක්ශිකා බක්මීවැව සහ 05 සහ 06 වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥ ධම්මික සිල්වා මහතාද පෙනී සිටියහ.