(නිමන්ති රණසිංහ)

කෙසෙල්වත්තේ ‘පවාස්’ නමැත්තා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කළැයි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කෙසෙල්වත්තේ ධනුක’ගේ ගෝලයින් සිව්දෙනෙකු ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (07) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, ශාන්ත සෙබස්කතියන් වීදිය කොළඹ 12 පදිංචි හෙට්ටිආරච්චිලාගේ කාවින්ද දිස්මිත, විහිදුමාවත, කොළඹ 12 පදිංචි අමුවත්තේ දොන් දෙනුවන් ච-තුරංග, පරණ යොන් වීදිය, කොළම 12 පදිංචි මොහොමඩ් ෂලීම් මොහොමඩ් රිෂාඩ්, ශාන්ත සෙබස්තියන් වීදිය, කොළඹ 12 පදිංචි මොහොමඩ් අන්වර් මොහොමඩ් උමර් නැමැත්තින්ය.

අංක 134/5/11, පරණයොන් වීදිය කොළඹ 12 පදිංචිව සිටි මොහොමඩ් කාමිල් මොහොමඩ් පවාස් නැමැත්තා තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබුණේ ඉකුත් 04 වැනිදා රාතී5 11.30ට පමණ බවත්, එම ඝාතනයට අදාළ සී සී ටී වී විමර්ශනයෙන් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

මෙම සැකකරුවන් ඉකුත් මාර්තු මාසයේ ඩුබායි හිදී මරණයට පත්වූ කෙසෙල්වත්තේ ‘දනුක’ නැමැත්තාගේ සහෝදරයා වන කෙසෙල්වත්තේ ‘ධනුක’ යන අයගේ ගෝලයන් බවට හදුනාගෙන ඇති බවත්, හෙරොයින් ඡාවාරමකට අදාළව දෙපිරිස අතර ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැක පල වන බවත් පැමිණීල්ල අධිකරණයේදී කරුණු හෙළි කළේය.

මෙම මරණකරු අපරාධ රැසකට සම්බන්ධ අයකු වන බවත් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට නොවැම්බර් මාසයේ මුල් සතියේදී ඇප මත නිදහස්ව පැමිණ ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.