(නිමන්ති රණසිංහ සහ අතුරුගිරිය)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ශිෂ්‍ය සංවිධාන ඒකබාද්ධව පාර්ලිමේන්තුව අසලදී හෙට (05) සහ අනිද්දා (06) පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි තලංගම පොලීසිය කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (04) ප්‍රතික්ෂේප කළාය.

අදාළ උද්ඝෝෂණය වැළැක්වීමට අදාළ හේතු වශයෙන් පොලීසිය ඉදිරිපත් කරන කරුණු ප්‍රමාණවත් නොවන බව පවසමින් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව උද්ඝෝෂණයේ අයිතිය මහජනතාව සතුව ඇති බවත් යමෙකු මහජන පීඩාවක් ඇතිවන අයුරින් හැසිරුණ හොත් නම් ඒ සදහා පොලිස් බලතල පාවිච්චි කළ යුතුව ඇති බවත් මෙහිදී අධිකරණය සදහන් කළේය.

මෙම උද්ඝෝෂකයින් විසින් පවත්වනු ලබන විරෝධතා හේතුවෙන් හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ පාර්ලිමේන්තු සැසිවාරයන්ට බාධා පැමිණවිය හැකි බැවින් එම විරෝධතා නවතා දමන නියෝගයක් නිකුත් කරන්නැයි තලංගම පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණී.

මෙම උද්ඝෝෂකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගමන් ගන්නා මාර්ගවල රැදී සිටිමින් ඔවුන්ගේ වාහනවලට සහ ඔවුන්ට බාධා කිරීම හේතුවෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවන බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මේ හේතුවෙන් අදාළ විරෝධතා නවතා දැමීමට නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, පොලීසිය කළ එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.