(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කර කළහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ හිමි නම රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් ධර්ම ශ්‍රී මනතුංග මහතා නියෝග අද (25) නියෝග කළේය.
එමෙන්ම දැඩි ඇප කොන්දේසි මත මත හිමිනම මුදාහැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා නඩුවේ පාර්ශවකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සෑම ඉරිදාවකම වාරියපොල පොලිසියේ පෙනී සිටින ලෙසත් හිමිනමට දන්වා සිටියේය.
පසුගියදා ඇති වු මෙම සිදු වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිමි නම අද උදෑසන නීතීඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට බාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මෙසේ ඇප නියම වූයේ වාරියපොල ප්‍රදේශයේම පන්සලක හිමි නමක වූ වඩුගෙදර සාරානන්ද හිමියන්ටය.
හිමිනම සමඟ සිද්ධිය වූ දින (ඉකුත් 20) වැනිදා පොලිසියට පැමිණි පුද්ගලයින්ගේ පහරදීමකට ලක්වූ බව කියන පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් සදගිරි බණඩාර සහ දිස්නා විජේසිංහ යන නීතීඥවරුන් පෙනීසිටියහ.
සදගිරි බණඩාර මහතා වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය මෙම අවස්ථාවේ ශක්තිමත් පැමිණිල්ලක් ඉදිරිපත් නොකරන බැවින් තමන් ඉදිරිපත් වන බවයි.
නොයෙකුත් මාධ්‍ය මගින් මුදාහල වීඩියෝ සහ හඩපටි ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය පිළිබඳව රටම බලාසිටින බව පැවසූ නීතීඥවරයා හිමිනමට ඇපලබා නොදෙන ලෙසද ඉල්ලා සිටියේය. සිය සහෝදර නිලධාරියෙකු වෙනුවෙන් පොලිසිය කටයුතු කරන ආකාරය ලැජ්ජා සහගත බවද සදගිරි මහතා පැවසීය.
හිමිනම වෙනුවෙන් ප්‍රසද් සිල්වා මහතා සහ චමිලා දිල්රුක්ෂි මහත්මිය පෙනී සිටියහ. එම නීතීඥවරුන් කියා සිටියේ පොලිස් පරීක්ෂකවරයාට කිසිදු ආකාරයක පහරදීමක් සිදුවී නැති බවත් සමාජ මාධ්‍ය සහ තවත් නාලිකාවන් කීපයක් මෙම සිද්ධිය වෙනතකට හැරවූ බවයි.
පොලිසිය තුළ කලහකාරී ලෙස හැසිරුණු පිරිස ඉවතට ගෙනයන ලද්දේ මෙම හිමිනම විසින් බවද නීතීඥවරුන් පෙන්වා දුන්හ.
එමෙන්ම ඊයේ (24) වනවිටත් පොලිසියට ඉදිරිපත් වන ලෙස හිමිනම වෙත කිසිදු දැනුම්දීමක් නොතිබූ බවත් උන්වහන්සේ ස්වකැමැත්තෙන්ම පොලිසියට ඉදිරිපත් වූ බවද නීතීඥවරුන් කීහ.
පොලිස් පරීක්ෂකවරයා මේ අවස්ථාව වනවිට අමාරුවේ වැටී ඇති බවත් ඔහුගේ රැකියාව බේරාගැනීමට නීති සහය ලබාගෙන ඇති බවත් හිමිනම වෙනුවෙන් පෙනීසිටි නීතීඥ දෙපල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වමින් කියා සිටියහ.
සියලු කරුණු සැලකිල්ලට ගත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
ඇප ලබා දීම සඳහා ස්වෙච්ඡාවෙන් පොලිසියට ඉදිරිපත් වීම, භික්ෂුවක් වීම සහ රටතුල පවතින වසංගත තත්වය යන කරුණු සැලකිල්ලට ගත් බව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝගය ලබාදෙමින් දැන්වීය.
මෙම නඩුව නැවත අප්‍රේල් මස 29 දින කැදවීමට නියමිත අතර පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව අධිකරණය වෙත වෙනම කරුණු දැක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේද තීන්දුව? දේශපානල අතපෙවීමක්.
මාර පොලිසියක්....
බුද්ධාගම විනාශ කරනුයේ වෙනත් ආගම නොව අපේම සමහර හාමුදුරුවරු ...
ශ්‍රී ලංකා පොලිසියේ කොන්ද කඩා ඇත්තේ දේශපාලකයෝය... මෙ සිද්ධිය පිටුපස දේශපාලනයක් තිබෙ...
මෙම නඩු විභාගය යන විදියට අර පොලීස් පරීක්ෂකවරයා අමාරුවේ වැටනවා වගේ. රටේ නීතිය වල්වෙලා...
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...
සමාජ මාධ්‍ය තුලින් ඇසීමට ලැබුණු පරිදි මෙම භික්ෂුව භාවිතා කල අශ්ලීල වදන් වැදගත් ගිහියෙකුවත් භාවිතා නොකරනු ඇත. පොලීසිය වැරදි නම් එයට ක්‍රියා කිරීමට නීතිමය ක්‍රමවේදයක් ඇත. සමාජයට ආදර්ශයක් වියයුතු අයගේ හැසිරීම ඉතාමත්ම ලජ්ජා සහගතය. බොද්ධයන් වශයෙන් අපද ලජ්ජාවට පත් වන අතර සාසනයේ සහ සමාජයේ පිරිහීමට හේතු මේවා බව තේරුම් ගත යුතුය. හමුදුරුකෙනෙකුට වුවද දෙදන නැමීමෙදී දෙපාරක් සිතා බැලිය යුතුව ඇත.
මේ රටේ ඇත්ත තත්වය මේක තමා. මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලදාරින්ට වෙන්නේ යුනිෆෝම් එක තියලා ගෙදර යාම හෝ සිරගත වීම. බෞද්ධ භික්ෂුවකගේ ක්‍රියා කලාපය ඉතා පහත්ය.
අපේ මහානායක හමුදුරුවරුනේ. මේ ගැන හොයන්න. මේ හාමුදුරුවන් වැරදිනම් වහාම නිකාය මගින් සුදුසු විනය පියවරක් ගන්න. හාමුදුරුවෝ මොකද පොලිසියට මුලින්ම යන්න හේතුව කියලත් හොයන්න. කවුද එන්න කිව්වේ, ඕවත් හොයන්න. මේ හාමුදුරුවන් නිවැරදිනම් එයත් නියමාකාරයෙන් ලොවට දැනුම් දෙන්න. නිසි පියවර ගන්න. අපේ නායක හාමුදුරුවරු මේ දේවල් නොදැක්කා වගේ ඉඳීම නිසා තමයි සංඝ සමාජයත් අපිවගේ බෞද්ධයනුත් රටේ ලෝකයේ ගැරහීමට ලක්වන්නේ...