(විමුක්ති එස් රුද්‍රිගු)

යාපනයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පහසුකම් වැඩිදියුණු කිරීමටත් පුළුල් කිරීමටත් ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා ප්‍රකාශ කර ඇත.

යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තුතිවන්ත වන බවත් මෙමගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ කටයුතු වර්ධනය වෙනු ඇති බවත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද තල්ලුවක් ලැබෙනු ඇති බවත් එලායන්ස් එයාර් ගුවන් සේවය චෙන්නායි සිට යාපනය දක්වාත් යාපනය සිට චෙන්නායි දක්වාත් ගුවන් ගමන් ආරම්භ කිරීම සනිටුහන් කරමින් ඊයේ(12) එම ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පලාලි ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ භග්ලේ මහතා පටිගත කළ පණිවිඩයක් මගින් පවසා තිබේ.

කන්කසන්තුරේ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියකට සහය දක්වමින්, කන්කසන්තුරේ වරාය සහ කරයිකාල් ඇතුළු ඉන්දියාවේ විවිධ ස්ථාන අතර බෝට්ටු සේවාවක් ඉක්මනින් නැවත ආරම්භ කිරීම සඳහා කොළඹ සමඟ නව දිල්ලිය “ඉතා සමීපව” කටයුතු කරමින් සිටින බව භග්ලේ මහතා ප්‍රකාශ කර ඇත.