(නිමල් ජයරත්න)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය මේ වන විට  ඉහළ යමින් ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඩබ්ලිව් කේ ඩබ්ලිව් සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේය.

මේ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2019 - 2021 වර්ෂ වලදී මෙම තත්වය අඩුව පැවති බවත් ඉන් පසුව මෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් කීය.

මේ අනුව එම තත්ත්වය සියයට 15 - 20 දක්වා ඉහළ ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව් කේ ඩබ්ලිව් සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.

පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ජගත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම පැවැත්විණි.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පැවති මෙම කමිටු රැස්වීමෙදි ඉකුත් මැයි මස නව වැනිදා ඝාතනයට ලක්වූ මෙම සංවර්ධන කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සිහිකරමින් විශේෂ ශෝක ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කළ අතර විනාඩි නිශ්ශබ්දතාවයෙන් පල කලහ.

අනතුරුව ශෝක ප්‍රකාශන නිකුත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර එහිදී ශෝකයට පත් පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ යූ.ජී.යූ.එස්.කේ වික්‍රමආරච්චි සභාපතිවරයා  අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබඳව දෑසේ කඳුළු පිට කරමින් සිදු කළ කථාව ද මෙම සංවර්ධන කමිටුවේ වෙ විශේෂ අවධානයට ලක් වූ දර්ශනයක් විය.