(තිලකරත්න දිසානායක)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශය අධික දුම පිට කරමින් මහමග ධාවනය කෙරෙන වාහන පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත.

මේ අනුව කොළඹ - මහනුවර මාර්ගයේ කඩවත ප්‍රදේශයේදී මහමග ධාවනය වෙමින් තිබු මෝටර් රථ 65 ක් පරීක්ෂාවට ලක් කිරීමේදී අධික කළු දුම සහිත වාහන 20 ක් හදුනාගනු ලැබීය.

මෙහිදී වායු විමෝචන අංශයේ නිලධාරියෙක් සදහන් කර සිටියේ, අධික දුම පිටවීමෙන් සිදුවන පරිසර හානිය වලකා ගැනීම සහ මින් අධිකව ඉන්ධන දහනය වීමෙන් ආර්ථිකයට සිදුවන බලපෑම අවම කර ගැනීම මෙම පරීක්ෂාවේ අරමුණ බවය.

දැනට එවන් වාහන යථා තත්ත්වයට පත් කර ගැනීමට උපදෙස් ලබාදීම සිදු කෙරෙන අතර ඉදිරියේදී නිසි ලෙස සකස් කර නොගන්නා වාහන සදහා තහනම් නියෝග නිකුත් කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවසීය.