(නිමන්ති රණසිංහ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස් මහතා පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න මහතා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස නැවත පත්කර ඇති අතර, තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්වූයේ මීට මාස හයකට පමණ පෙර ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාව සිටියදීය.

ත‍්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ. ආර්. ප‍්‍රසන්න අල්විස් මහතා වෙනුවට එහි නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිටි ටී. ජී. එන්. ඩබ්. ඞී. තල්දුව මහතාය.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව මත සේවයේ අවශ්‍යතාවය වෙනුවෙන් මෙම ස්ථානමාරුවීම් හා පත්කිරීම් වහාම කි‍්‍රයාත්මක වන පරිදි සිදුකර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

ඒ අනුව, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඞී. වී. පී. අජිත් හේසිරි මහතා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂක ලෙසත්, පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්. සී. ඒ. පුෂ්පකුමාර මහතා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත.

නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරී ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. ජී. එල්. ගීතාල් මහතා විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙසත්, නුගේගොඩ කොට්ඨාසයේ (බුද්ධි හා ආවේක්ෂණ) පොලිස් අධිකාරී ආර්. එම්. පී. එන්. රත්නායක මහතා නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරියා ලෙසත් පත්කර තිබේ.

විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ පොලිස් අධිකාරී සී. ඞී. ගුරුසිංහ මහතා විශේෂ කාර්යාංශය වෙතත්, කොළඹ දකුණ කොට්ඨාසයේ පොලිස් අධිකාරී ආර්. ඒ. ඞී. ඊ. එල්. රන්දෙණීය මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතත් මාරුකර ඇත.