(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවේ විවිධ උපක්‍රම මගින් ඔලුගෙඩි දිනාගැනීමට පෙර ජනතාව දිනාගැනීමට රජය කටයුතු කළ යුතු බවත් ජනතාව සහ ජාත්‍යන්තරය දිනාගැනීමට සියලුම පක්ෂවලින්  සමන්විත ආණ්ඩුවක් පිහිටුවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා  'ලංකාදීප' යට පැවැසීය.

ජනතාවට පිළිගත හැකි ආණ්ඩුවක් පිහිටුවීමෙන් තොරව වෙනත් කිසිදු විසඳුමක් වර්තමාන අර්බුදයට නොමැති බව කී අලගියවන්න මහතා එම ආණ්ඩුව එක දේශපාලන පක්ෂයක ආණ්ඩුවක් වීම ඵලදායි නොවන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 11 යෝජනා ඉදිරිපත් කරමින් එවැනි ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට හොඳ අවස්ථාවක් ලබාදුන් බවත් ඉතිහාසයේ මෙන්ම මෙවර ද ජනාධිපතිවරයා එම අවස්ථාව පැහැර හැරි බවත් අලගියවන්න මහතා කීය.

ආර්ථික අර්බුදය විසදීමට පෙර දේශපාලන අර්බුදයට විසඳුමක් ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඛණ්ඩව ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද අලගියවන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.