( තිළිණි ද සිල්වා )

පකිස්තාන සියල්කෝට් හි අමානුෂික ලෙසින් ඝාතනයට ලක්වු ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක වන්දියක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක්)  ගෙවීමටත්, ඔහුගේ වැටුප අඛණ්ඩව ලබා දීමටත් පාකිස්ථානය තීරණය කර ඇත.

ඒ අනුව අමානුෂික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් අරමුදලක් එකතු කිරීමට සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර තිබෙන අතර මේ වනවිට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එම අරමුදල සඳහා එකතු වී ඇති බව පකිස්තාන මාධ්‍ය වාර්තා කර සිටී.

මේ අතර මියගිය ප්‍රියන්ත කුමාර මහතා ලැබූ මාසික වැටුප ඔහු පවුලේ උදවිය සඳහා නොනවත්වා ලබාදීමට කටයුතු කරන බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ ( 07) පැවසීය.

මියගිය මෙම ලාංකිකයා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ උත්සවයකට එක්වෙමින් පකිස්තාන අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එසේම ඔහු පවසා ඇත්තේ එම මිලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ට කිසිදු බුරුලක් පාකිස්තානයෙන් නොලැබෙන බවත්ය.

එම උත්සවය අවසානයේදී පකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් මිය ගිය ප්‍රියන්ත කුමාර මහතා බේරා ගැනීමට උත්සාහ දැරූ පකිස්තාන ජාතික මලික් අද්නාන් වෙත එරට සිවිල් වැසියකුට පිරිනමන දෙවැනි උසස් සිවිල් සම්මානය වන "තම්ගා අයි ෂුජාත් " සම්මාන පිරිනැමීය.