උතුරු කොරියාව සතුව බලවත් න්‍යෂ්ටික ආයුධ 57ක් ඇති බව බුද්ධි අංශ තමන්ට දැනුම් දුන් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මාධ්‍ය හමුවේ මෙම අනාවරණය කළේ ඔහු සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ පවතින මිතුදම් ගැන පැහැදිලි කළ අවස්ථාවේදීය. තමන් නුදුරේ දිනක, නායක කිම් ජොන් උන් හමුවීමට යෑමට සූදානම් බව ද ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැවැසීය.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ අවස්ථා තුනකදී නායක කිම් ජොන් උන් හමුවිය. ඒ හොඳහිත වර්ධනය කර ගැනීමේ අරමුණින්ය. කෙසේ නමුත් මත ගැටුම් හේතුවෙන්, එය අසාර්ථක විය. කෙසේ නමුත්, තමන් සහ කිම් ජොන් උන් අතර හිතවත්කම්වලට එම මත ගැටුම් බාධාවක් නොවුණු බව ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත.

ට්‍රම්ප් මේ බව කියා සිටියේ ධවල මන්දිර  භූමියේ ඉදිවන නව හෙලිකොප්ටර් අංගනය නිරීක්ෂණයට පැමිණි මාධ්‍යවේදීන්  නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. 'මේ වසර අවසානයේ මා නායක කිම් ජොන් උන් හමුවීමට සූදානමින් ඉන්නේ. ඔහුට මා විශ්වාසයි. ඔබාමා හෝ ජෝ බයිඩන් වගේ නෙවෙයි, ඔහුට මා විශ්වාසයි. අප අතරේ යහපත් සබදතා පවතිනවා' යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළේය.

ඇමෙරිකා ජනාධිපතිවරයා නොවැම්බරයේ පැවැත්වෙන,  ආසියා-පැසිෆික් ආර්ථික සමුළුවට සහභාගී වීමට චීනය බලා යෑමට නියමිතය. එම සංචාරය අතරතුරේ ඔහු උතුරු කොරියා නායකයා හමුවනු ඇතැයි විදෙස් මාධ්‍ය පැහැදිලි කර තිබේ.

ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට යෑමට සූදානම් වන්නේ ඉරානය සමග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේය. ට්‍රම්ප් පවසන ආකාරයට ඔහු උත්සාහ ගනිමින් සිටින්නේ ඉරානය න්‍යෂ්ටික බලවතකු වීම වැළැක්වීමය. පවතින අර්බුදකාරී තත්ත්වය සමතයකට පත් කර ගැනීමට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ ගැටලුව විසඳා ගැනීමට ඉරානය සමග දිගටම සාකච්ඡා පවත්වන බව ට්‍රම්ප් පවසා ඇත.

මේ අතර, උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමග යහපත් සබදතා ඇතිකර ගැනීමේ අරමුණින්, ට්‍රම්ප් දකුණු කොරියාව සහ ඇමෙරිකා හමුදාව වාර්ෂිකව පවත් වන ඒකාබද්ධ යුද අභ්‍යාස සීමා කරන බව ද අවධාරණය කර ඇත.