(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ නවක සිසුන් පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස් අප් කණ්ඩායමක් නිර්මාණය කොට ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය දර්ශනවලට එම එම සිසුන් පොලඹවා ගනිමින් නවක වදය ලබා දීමට තැත් කළ බව කියන සිසුන් පිරිසක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරියා විසින් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ .

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) ද්‍රවිඩ මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන සිසුන් කණ්ඩායමකට එම පීඨයේ ද්‍රවිඩ මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් එසේ නවක වදය දීමට උත්සාහ කොට ඇති බවයි පැවසෙන්නේ . සිද්ධිය සම්බන්ධයෙන් සිසුවකු විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියට මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලිකොට ඊට සම්බන්ධ වීඩියෝ පට ද එම සිසුන් විසින් සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ විනය පාලක ආචාර්යෙවරයකුට භාරදී ඇති බව පොලීසිය කියයි .

එම පැමිණිල්ලට සම්බන්ධ සියලු දත්ත මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට අනුබද්ධිත පරිගණක අපරාධ වර්ෂණ ඒකකයට භාර දීමට නියමිතය .