(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

පානදුර ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස් පහරදී පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය ආසන්නයේ දමා ගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කරයි.

මෙම සිද්ධියෙන් එම ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති අතර ව්‍යාපාරිකයාගේ බිරිඳ ගේ දණහිසකට තුවාල සිදුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පානදුර වලාන මහානාම පාරේ අතුරු මාර්ගයක පිහිටි ව්‍යාපාරිකයාගේ නිවස ආසන්නයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කණ්ඩායමක් මෙම ව්‍යාපාරිකයා පැහැර ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු  අතුරු මාර්ගය දිගේ ඔහුගේ මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇත.

ව්‍යාපාරිකයා ගමන් ගත මෝටර් රථය  කානුවට  වැටී ඇති අතර ඉන්පසුව පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් කණ්ඩායම ව්‍යාපාරිකයාගේ මෝටර් රථයේ වීදුරු කඩා එම පුද්ගලයා එළියට රැගෙන ඔහුට පහර දී ඔවුන් පැමිණි මෝටර් රථයේ දමා පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පහරදීම එම පුද්ගලයාගේ ඥාතී පුද්ගලයකු විසින් මුදල් ආරවුලක් හේතුවෙන් සිදුකර ගෙන ඇති බවට මේ වන විටත් තොරතුරු අනාවරණය වී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලිසිය විශේෂ විමර්ශනයක් සිදු කරනු ලබයි.