(යොහාන් භාසුර)

ඉන්ධන සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීමෙන් ඇතිවන පීඩනයෙන් කොටසක් ඉන්ධන පාරිභෝගිකයාට ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ ඉන්ධන මිල වැඩි කළ බවත් වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීම වැලැක්වීමට අනිවාර්යෙන්ම ඉන්ධන පරිභෝජනය අඩුකළ යුතු බවත් බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (1) පැවසීය.

ලංකා ඛනිජ තෙල් තොග ලබඩා පර්යන්ත සමාගමේ බිල්පත් ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් කොළොන්නාව ඛනිජ තෙල් සංස්ථා තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේදී අද (1) පැවැති උත්සවයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා එසේ පැවසීය.

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙසේ ද අදහස් දැක්වීය. “මැයි මාසය වන විට ඩොලර් මිලියන 524 ක් ඉන්ධන සඳහා වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට. එම තත්වය තව දුරටත් දරාගෙන ඉන්න අමාරුයි.

ඒ නිසා රටක් හැටියට කල්පනා කරලා බලන්න වුණා අනිවාර්යෙන්ම ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදියක අඩුකිරීමක් කර රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට කටයුතු නොකළහොත් එක පැත්තකින් ඉදිරියේදී ඉන්ධන මිල වැඩිවීමට බලපෑමක් කරනවා පමණක් නොව ඒ හරහා සමස්ත ආර්ථිකයට කිසියම් බලපෑමක් ඇති කරන්න පුළුවන්.

යම්කිස් පීනයක් ඇතිවනවා වුණත් පීඩනයේ කොටසක් මේ වෙලාවේ ඉන්ධන පාරිභෝගිකයාට ලබාදීලා එහි වැඩි කොටසක් රජය දරමින් ඒ වගේම තවත් කොටසක් ඉන්ධන සැපයුම් කරන ඒ සමාගම් වෙත යොදමින් මේ අවස්ථාවට මුහුණ දෙන එක තමයි රජයේ ප්‍රතිපත්තියයි’‘

අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩි දුරටත් මෙසේ ද කීය. “අපේ රටේ තෙල්වල ගිය මාස කීපයේම තෙල්වල මිල වැඩිවීම ගත්තොත් පෙට්‍රල් 95 වැඩි කරලා තියෙන්නේසියයට 45.59 කින්, පෙට්‍රල් 92 මෙම වාරකීපයේම වැඩි කරලා තියෙන්නේ සියයට 48.12 කින්, ඒ වගේම ඩීසල් වැඩි කරලා තියෙන්නේ සියයට 44.84 කින්, සුපර් ඩීසල් වැඩිකරලා තියෙන්නේ සියයට 45.29 කින්. ඒත් සමඟ බැලුවම පැහැදිළිව පෙනෙයි ලෝකයේ සෙසු රටවල්වලට සාපේක්‍ෂව අපි තවමත් අඩු ප්‍රතිශතයකින් තමයි ඉන්ධන මිල වැඩි කරලා තියෙන්නේ.

සාමාන්‍ය සිල්ලර මිලට වඩා රුපියල් 25 ක් අඩුවෙන් තමයි ඉන්ධන ලබාදෙන්නේ. අනිත් පැත්තෙන් අපි ජනන සැලැස්ම හදාගෙන තියෙන්නේ පුළුවන් තරම් ඩීසල් යොදාගන්නේ නැතුව විදුලිබලය ජනනය කරන්න. ඒ නිසා ඩීසල්වලින් විදුලිය ජනනය අවම කරගෙන තියෙන්නේ. මෙම වැඩිවීමෙන් විදුලි ජනන වියදමට විශාල බලපෑමක් ඇති කරන්නේ නෑ”