(අංජුල මහික වීරරත්න)

ජනතාව පීඩාවට පත් වෙද්දී එම පීඩාවන්ට එරෙහිව නැගී සිටින පුද්ගලයන් මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකත්වයට කිසිසේත්ම සුදුසු නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ජනතාවගේ ප්‍රශ්න විසඳනවා විනා හදිසි නීතිය සහ ඇඳිරි නීතිය  යොදා ජනතාව මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා නිර්ලජ්ජිත උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.

රටෙි වත්මන් තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩි දුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවසයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිටම සිය විරුද්ධවාදීන් මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේ ය. වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා ජනතාව වීදි බසිද්දී ආණ්ඩුව සිය බලය යොදා ඔවුන් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටියි. ඉන්ධන, ගෑස් ලබා දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාගේ මිරිහාන පෞද්ගලික නිවස ඉදිරිපිටට ගිය ජනතාවට ලැබුණේ යකඩ සපත්තුවේ බැටන් ප්‍රහාරයන් ය.

මාධ්‍යවේදීන්ට පවා පහරදීමට තරම් ආණ්ඩුවේ මැර බලකායන් කටයුතු කළේ නිර්ලජ්ජිතවය. විසඳුම් ඉල්ලා පැමිණි ජනතාව නිවෙස්වලට ගොස් කුදලාගෙන ආවේය. මර්ගයේ සිටියවුන්ට පහර දුන්නෝ ය. ජනතාවට කන්න බොන්න දෙන්න බැරි ආණ්ඩුව මේ වන විට සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද මර්දනය කරමින් සිටියි.

ජනතාව තමන්ගේ ඉල්ලීම් ඉල්ලා පාරට බසින්නට සැලසුම් කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ය. එය දියුණුවේ ලක්ෂණයකි. සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වන්නේ සමාජ මාධ්‍ය ප්‍රවර්ධනය කරන බවට වුවත් ආණ්ඩුව බලයට පත්වූ පසු කරන්නේ සමාජ මාධ්‍ය මර්දනය කිරීමයි.