(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාඩු ලබනවා යැයි කියන  ලිට්‍රෝ ගෑස් සමාගම මීට දෙදිනකට පෙර රුපියල් ලක්ෂ ගණනාවක් වැය කොට වෝටර්ස් එජ් හෝටලයේ විශාල පාටියක් දමා ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලිට්‍රෝ ගෑස් සමාගම ගෙනා බාල ගෑස් නිසා  වූ පිපිරීම් වලින් මියගිය සහ තුවාල ලැබූ ජනතාවට කිසිම වන්දියක් මෙතෙක් ලබා දී නැති බව කී මුජුබුර් රහුමාන් මහතා එවන් තත්ත්වයක් යටතේ සුපිරි හෝටල්වල පාටි දැමීම ගැන කිව හැක්කේ කුමක්දැයි විමසීය.

ලිට්‍රෝඩ සමාගම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තිබෙන ආයතනයක් බව කී මුජිබුර් රහුමාන් මහතා ජනතාවට ඉවසන්නැයි  කියමින් මේ කරන සෙල්ලම කුමක්දැයි ප්‍රශ්න කළේය.

බැසිල් රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේ ඔහු පිළි ගන්නට පැමිණි පිරිසේ තේ බිල ගෙවා ඇත්තේ සිවිල් ගුවන් සේවා අධිකායෙන් බව කී මුජුබුර් රහුමාන් මහතා එම තේ බිල වන රුපියල් හැට දහසක් වත් ගෙවා ගන්නට බැසිල්  රාජපක්ෂට බැරි ඇයි දැයි විමසීය.

මෙලෙස ජනතා මුදල් අවභාවිතා කරන්නේ ඇයිදැයි විමසූ මුජිබර් රහුමාන් මහතා ජනපති නොයෙක් දේ දොඩවන්නේ නැතිව මෙවැනි දේවල් නතර කිරීමට කටයුතු කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.