(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සම් දෙකක් ගොනුකර ඇත.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය පී.ඇල්පිටිය,ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා, එම්.ඒ සුමන්තිරන්, දයාසිරි ජයසේකර මහත්වරුන් විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නම් කරනු ලැබ සිටිති.

වර්තමාන පළාත් පාලන ආයතනවල ජීව කාලය ලබන වසරේ මාර්තු 19 වැනිදා අවසන් වන බවත් පළාත් පාලන මැතිවරණ පනතේ විධි විධාන අනුව පළාත් පාලන මැතිවරණය ආරම්භ කිරීමට මාස 6 කට පෙර මෙම ක්‍රියාවලිය ආරම්භ කරන බවට මහජනතාව දැනුවත් කළ යුතු බවත් පෙත්සම් වල සඳහන් වේ.එහෙත් මැතිවරණ කොමිසම ඒ පිළිබඳ මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් එමගින් ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවත් එම පෙත්සම්වල දැක්වේ.

එමනිසා වග උත්තරකරුවනට නොතීසි නිකුත් කරන ලෙසද පළාත පාලන මැතිවරණය පැවැත්වීමට සුදානම් බවට අභිලාශය ප්‍රකාශයට පත් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.