(අංජුල මහික වීරරත්න)

පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ සංචාරය සහ පාකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

මෙරටට පැමිණ සිටින පාකිස්ථානයේ අභ්‍යන්තර සහ මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය සයිඩ් මොහ්සින් රාසා නක්වි,විදේශගත පාකිස්තානු ජාතිකයින් සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය චෞද්‍රි සාලික් හුසේන් මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිස අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම පිළිගෙන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට සිය කෘතඥතාව පළ කළේය. දිට්වා සුළි කුණාටුව ඇතුළු ශ්‍රී ලාංකික ජනතාව අසීරුතාවට මුහුණ දුන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට පාකිස්තානය ලබා දුන් සහායද ජනපතිවරයා  කෘතවේදීව අගය කළේය.

මෙහිදී අදහස් දැක්වූ පාකිස්ථානයේ අභ්‍යන්තර සහ මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය සයිඩ් මොහ්සින් රාසා නක්වි මහතා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තරගයට එක් වීමට තීරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයෙන් අනතුරුව බව කීය.

ඒ පිළිබඳ අමාත්‍යවරයා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා රජය විසින් තම ක්‍රිකට් කණ්ඩායම ඇතුළු පිරිසට පිරිනමන ලද සුහදශීලී ආගන්තුක සත්කාරය පිළිබඳව මෙන්ම ශ්‍රී ලාංකික ජනතාව දැක් වූ මිත්‍රශීලි සහයෝගය පිළිබඳවද අමාත්‍යවරයා වැඩිදුරටත් කෘතඥතාව පළ කළේය.