ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් හයදෙනකු හඳුනාගෙන ඇතැයි පන්ජාබ් පොලිසිය අද (5) ප්‍රකාශ කළේ ය.

දේවාපහාස කළ බවට චෝදනා කරමින් ප්‍රියන්ත කුමාර දියවඩන මහතා සේවය කරන කර්මාන්තශාලාවේ සේවකයන් ඇතුළු සිය ගණනක් ඒ මහතාට පහර දෙමින් අමානුෂීය සහ මිලේච්ඡ අයුරින් ඝාතනය කර ඔහුගේ සිරුරට ගිනි තැබූහ.

උගෝකි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් කර්මාන්තශාලාවේ සේවකයන් 900 දෙනකුට එරෙහිව ‘පළමු තොරතුරු වාර්තාවක්’ (එෆ්.අයි.ආර්.) පැමිණිලි ගොනු කර ඇත.

පොලිසිය ඉකුත් දින දෙකේ දී සිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් තවත් ප්‍රධාන පෙළේ සැකකරුවන් හයදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පන්ජාබ් පොලිසිය සඳහන් කළේ ය.

සී.සී.ටීවී. දර්ශන සහ දුරකතනවල තොරතුරුවලින් මොවුන් හඳුනාගෙන තිබේ.

මෙම සැකකරුවන් ඔවුන්ගේ ඥාතීන්ගේ සහ මිතුරන්ගේ නිවෙස්වලට සැඟ වී සිට ඇති බව ද පන්ජාබ් පොලිසිය සඳහන් කළේ ය.

දැනට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගෙන් 124 දෙනකුගෙන් 19 දෙනකු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මිලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් “ප්‍රධාන භූමිකාවක් රඟදක්වා” ඇතැයි ද එම පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

තවත් සැක කටයුතු පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක වන බව සියල්කොට් දිස්ත්‍රික් පොලිසියේ නිලධාරී ඔ්මාර් සයිද් මලික් පැවැසීය.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරුවන් 13 දෙනකු අපරාධ අධිකරණයට යොමු කළ බවත් ඉන් අනතුරුව ඔවුන් පොලිස් රැඳවුම්භාරයට යොමු කිරීමටත් පියවර ගෙන ඇත.

ෆර්හාන් ඉද්‍රීස්, සබූර් බට්, තල්හා, අබ්දුල් රෙහ්මාන්, ඉම්රාන්, තයිමූර්, ෂොයිබ්, රහීල්, උස්මාන්, ෂාශයිබ්, නසීර්, එස්තිෂාම් සහ ජුනයිද් එම ප්‍රධාන සැකකරුවන් ය.

මෙම පිරිස හෙට ගුජ්රන්වාලා ත්‍රස්ත විරෝධී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ කාර්යාල සගයකු ප්‍රචණ්ඩකාරී පිරිසගෙන් ඔහු බේරාගැනීමට උත්සාහ කරන විඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබේ.

කුමාර මහතා මුස්ලිම් ජාතිකයකු නොවන බව එම පුද්ගලයා ප්‍රචණ්ඩකාරී පිරිසට අවබෝධ කිරීමට උත්සාහ කරන අයුරු දැක්වෙන විඩියෝ පටයක් ද සමාජ මාධ්‍යවලට නිකුත් ව තිබිණි.

“කොළේ තියලා තිබ්බේ මොනාද කියලා එයා දැනගෙන හිටියේ නෑ” යැයි ද එම පුද්ගලයා කෑ ගසයි.

කුමාර කර්මාන්තශාලාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නේ යැයි ද ඔහුට විරුද්ධව “පළමු තොරතුරු වාර්තා” පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ යැයි ද ප්‍රචණ්ඩ කිරීමට සහතික වීමට ද ඔහු උත්සාහ ගන්නා බව ද මෙම විඩියෝවලින් අනාවරණය වී තිබේ.

කෙසේ නමුත් ප්‍රචණ්ඩකාරී පිරිස ඔහුට සවන් නොදෙන අතර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාට දැඩි ලෙස පහර දෙයි.