නේපාල මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල තවමත් නිකුත් කර නොමැති නමුත්, මැතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකයන් අතරේ ඉදිරියෙන් පසුවන්නේ රැප් ගායකයකු ලෙස ජනප්‍රිය වී, පසුව දේශපාලනයට අවතීරණ වුණු බාලේන්ද්‍ර ෂා ය.

ඒ අනුව බාලේන්ද්‍ර ෂා නේපාලයේ මීළඟ අගමැති වනු ඇතැයි නේපාල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ පැවැත්වුණු තරුණ අරගලයෙන් පසු ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති මැතිවරණයේදී, ජනවාරි මාසය වන තෙක් කත්මණ්ඩු අගනුවර නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ ෂාට එරෙහිව, හිටපු අගමැති කේ.පී. ඕලි ගේ කොමියුනිස්ට් පක්ෂය සහ නේපාල කොන්ග්‍රසයේ ගගන් තාපා වැනි ප්‍රබල අපේක්ෂකයන් තරග වැදුණේය.

බීබීසී නේපාල සේවය වාර්තා කර ඇත්තේ, සිකුරාදා සවස් වන විට නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ෂාගේ මධ්‍යස්ථ මතධාරී 'රස්ත්‍රිය ස්වතන්ත්‍ර පක්ෂය' (RSP) සෘජුවම තේරී පත්වන ආසන 165න් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක පෙරමුණ ගෙන සිටින බවය. නේපාල කොන්ග්‍රසය දෙවන ස්ථානයටත්, ඕලි ගේ කොමියුනිස්ට් පක්ෂය තෙවන ස්ථානයටත් පත්ව ඇති බව ද වාර්තා වේ.

කඳුකරයේ පිහිටි නේපාලයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සාම්ප්‍රදායිකව මන්දගාමී වන අතර, දුෂ්කර ප්‍රදේශවල ඡන්ද පෙට්ටි එකතු කිරීමට හෙලිකොප්ටර් යානා පවා භාවිත කරන බව ද පැවැසෙයි. ඒ අනුව අවසන් ප්‍රතිඵලය දැනගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති. 2022 වසරේ පැවැති මැතිවරණයේදී අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමට සති දෙකකට වඩා වැඩි කාලයක් ගතවුණු බව විදෙස් මාධ්‍ය පවසයි.