(සුජිත් හේවාජුලිගේ)

රසායනික පොහොර සහ වල්නාශකවලට හුරුවූ ගොවීන් කාබනික වගාවට යොමු කිරීම අභියෝගාත්මක කර්තව්‍යයක් වුවත්  සියලුම මට්ටමේ නිලධාරීන් දැඩි උනන්දුවකින්, විශ්වාසයකින් හා කැපවීමෙන් වැඩ කළහොත් ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කළ හැකි බව  තමාට විශ්වාසය යැයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ යල කන්නය සඳහා කාබනික පොහොර බෙදාහැරීමට ඇති සූදානම සම්බන්ධයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේදී  ඊයේ (15) පැවති සාකච්ඡාවකදීය.

අනාගත දරු පරපුර වෙනුවෙන් වස විසෙන් තොර ආහාර වේලක් ලබාදීම අරමුණු කරගනිමින් හරිත කෘෂිකර්මාන්ත වැඩසටහන ආරම්භ කෙරුණු බවද  ජනාධිපතිවරයා කීවේය.

ගොවීන් නිසි ලෙස දැනුවත් කර  නිසි වේලාවට ප්‍රමිතියෙන් ඉහළ පොහොර ලබාදීම සිදුවිය යුතු බව මෙහිදී  පැවසු ගෝඨාභය රාජපක්ෂ මහත ඇතැම් රජයන්ට කෘෂිකර්මාන්තය පිළිබඳ විශ්වාසයක් නොතිබූ බවද සඳහන් කළේය.

පාරම්පරික කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව ඉන් ස්වයංපෝෂිත කර, ගොවියා ශක්තිමත් කිරීම තම අපේක්ෂාව බවද ජනාධිපතිවරයා පැවසූවේය.

කාබනික පොහොර නිෂ්පාදනයට සම්බන්ධවී සිටින සියලු නිෂ්පාදන ආයතන දීර්ඝ කාලයක් තිස්සේ  පර්යේෂණ සිදුකර වගා කටයුතු සඳහා යොමුව සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන  සිටින බවත්  ඔවුන්ගේ දැනුම හා ඉහළ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ගොවි ජනතාව අතට පත් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි යැයි  තමාට විශ්වාස බවත් ඔහු පැවසීය .

මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරුන් පැවසුවේ මහ කන්නයේදී කාබනික පොහොර නිවැරදි ලෙස භාවිතා කළ ගොවීන් ඉහළ අස්වැන්නක් ලබාගෙන ඇති බවයි.

ඊට යොමු නොවූ ගොවීන්  නිසි ලෙස දැනුවත් කිරීමෙන් හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල ජයගත හැකි බව ඔවුහු මෙහිදී වැඩිදුරටත්  ප්‍රකාශ  කළහ.

මහ කන්නයේ දී ලත් අත්දැකීම් පාදක කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයින් 48දෙනෙකු තෝරාගෙන පොහොර බෙදාහැරීමේ කටයුතු සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික්ක රැසක ගොවීන් මහ කන්නයේ දී කාබනික පොහොර යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව පොහොර නිෂ්පාදන ආයතනවල පර්යේෂකයෝ පෙන්වා දුන්හ.

සතියකට දෙවතාවක් දිසාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පොහොර කමිටුව රැස්වීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අමාත්‍යාංශ ලේකම්වරුන්  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්  පොහොර නිෂ්පාදන ආයතන ප්‍රධානීන්  ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.