නව නිරෝධායන නීති යටතේ ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (15) අත්සන් තැබුවාය.

ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මෙම ගැසට් පත්‍රයේ ඇතුළත්ය.

ඒ අනුව, එම නීති කඩ කරන පුද්ගලයන්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 6 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබෙනු ඇත.

මෙයට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථාන වලට ඇතුලුවීම හා පවත්වාගෙන යාම පිළිබදව මෙම ගැසට් පත්‍රය මගින් පෙන්වා දී ඇත.

*සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථාන වලට ඇතුල්වන සෑම තැනැත්තකු ම සෑම අවස්ථාවක දී ම මුව ආවරණයක් පැළැද සිටීම.

*දෙදෙනෙකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම.

*සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.

*විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීම.

*ඇතුළුවන සෑම තැනැත්තකුගේම නම, හැදුනුම්පත් අංකය සහ සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබද විස්තර ඇතුළත් ලේඛණයක් පවත්වාගෙන යාම.

*සේවා ස්ථාන වල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම යනාදිය ඒ අතර වේ.

එමෙන්ම සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණු වලට අදාල නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම ගැසට් පත්‍රය මගින් පියවර ගෙන ඇත.

(055)