(අංජුල මහික වීරරත්න)

අයහපත් කාලගුණික තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන දේශගුණ සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීම මගින්  එම පාඩුව පියවා ගැනීමට අවශ්‍ය බිලියන ගණනක මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේ අවස්ථාවන් උදාවන බවද විජයවර්ධන මහතා කීය.

රුවන් විජයවර්ධන මහතා මෙි බව කීවෙි දේශගුණික මූල්‍යකරණ ව්‍යාපෘතියේ ආරම්භක වැඩමුළුවට සහභාගී වෙමිනි.

පරිසර අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම වැඩසටහන පැවැත්විණි.

2030 වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය 75% දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් සුළං බලය ඇතුළු ස්වභාවික බලයන් භාවිතයටත්, පරිසර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් හඳුනාගෙන ඇති බවත් රුවන් විජයවර්ධන මහතා කීවේය. 

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ  නියෝජ්‍ය නේවාසික නියෝජිත නිලධාරී - පෙක් චුවාන් ගන්, එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ සෞභාග්‍ය අංශයේ ප්‍රධානී (FCDO) ඇන්ඩෲ ප්‍රයිස් මහත්ම මහත්මීහු  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.