(නිමල් ජයරත්න)

පොලොන්නරුව තඹාල පුලස්තිගම නිවසක පිටුපස නිධන් හාරමින් සිටි සිව්දෙනකු ,නිධන් හෑරීමට යොදාගත් උපකරණ රැසක් ද සමග අද උදෑසන අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ, පානදුර, පොළොන්නරුව, සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවද අරලගංවිල විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ආර්. එම්. පී. ජයකැලුම් මහතා සඳහන් කළේය.

මෙම සැකකරුවන් නිධන් හෑරීමට පෙර එම ස්ථානය, ස්කෑන් යන්ත්‍ර යොදා පරික්ෂාකර ඇති බවද ජයකැලුම් මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීය.

සැකකරුවන් සතුව තිබූ පූජා භාණ්ඩ, යකඩ ඉනි, උදලු, සවල්, වතුර ඉහන ප්ලාස්ටික් බට, පොල්තෙල් මැටි පහන්, සුවඳ කූරු, නූල්, දෙහි, මුහුදු වැලි, සාම්බ්‍රානි ඇතුළු විශාල පූජා භාණ්ඩ ප්‍රමාණයක්, සහ නිදධන් හෑරීමට යොදාගත් උපකරණ රැසක් මෙහිදී අත්අඩංගුවට ගත් බවද හෙතෙම කීය.

අරලගංවිල විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ආර්. එම්. පී. ජයකැලුම් මහතාට තොරතුරකට අනුව, අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙම වැටලීම් සිදුකළහ,