(නිමන්ති රණසිංහ) 

අරගලය පැවති ජූලි මස 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ඇතුළු වීමක් කළැයි කියන සිද්ධියේ  59 වන  සැකකරු ලෙස නම් කර සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළේය.

නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වූ නීතිඥවරයාට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා 19 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද නියෝග කළේය. 

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර නීතිඥ නුවන් බෝපගේ මහතාට විදේශ ගමන් තහනමක් නිකුත් කරන ලෙසට පොලීසිය කළ ඉල්ලීමට ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විරෝධතාවය ප්‍රකාශ කළේය.

ඔහු සැකකරුවෙක් ලෙස නම් කළ පසු අධිකරණයට භාර වූ අයෙකු බවත්, පොලීසිය එම සැකකරුව අත්අඩංගුවට නොගත් බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, ඔහු නීතිඥවරයෙක් වන බැවින් අධිකරණය මග හරින බවට කරුණු තිබෙනවාදැයි පැමිණිල්ලෙන් ප්‍රශ්න කර සිටියේය.

එමෙන්ම පුද්ගලයන් අපහසුතාවයට පත් කරන නියෝග නොඉල්ලන ලෙසත්, සැකකරු අධිකරණය මග හරියිකියා හැගෙයි නම් අවශ්‍ය නියෝග තමන්  ලබා දෙන බවත් ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.