(නිමන්ති රණසිංහ)

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කොට තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන ගොතටුව පොලීසියේ කොස්තාපල්වරයා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (27) නියෝග කළාය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු වූ ක`ථතර පදිංචි කංකානම්ලාගේ ගැමුණු සම්පත් කුමාර නමැත්තා මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වශයෙන් නම් කරන බවත් මේ වන විට මොහු පදිංචිය හැරගොස් සැගව ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගොතටුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් රුමේෂ් ගිම්හාන් නමැත්තාය.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ සුමිත් කෙලාඩ් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා පොලිස් නිලධාරියකු බැවින් බන්ධනාගාරය තුළදී ඔහුගේ ආරක්ෂාව සලසා දීමට නියෝගයක් නිකුත් කරන ලෙසය.

ඔහු යම් වරදක් සිදුකර තිබුණා හෝ නොතිබුණා ද ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතුව ඇති බවද මෙහිදී නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.