දිඹුලාගල දළුකාන ගම්මානයේ ආදිවාසි දරුවන්ට ආහාර අහේනියක් නොමැති බවත්, ආහාර නොමැතිකම නිසා ඔවුන්ගේ පාසල් ගමන නතර වී ඇති බවට ‘ලංකාදීප’ පුවත්පතේ ඊයේ (31) පළවූ ප්‍රවෘත්තිය නිවැරදි නොවන බවත්, ජනාධිපති කාර්යාලය කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් එවමින් සඳහන් කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි සහ දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගෙන් ඒ ගැන කරුණු විමසූ බව ද පුවත්පතේ සඳහන් කරුණු නිවැරදි නොවන බව ඔවුන් එහිදී පවසා ඇති බව ද ජනාධිපති කාර්යාලය එවා ඇති ලිපියේ සඳහන් වේ.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා සහ නිලධාරීන් පිරිසක් දළුකාන ග්‍රාමයට ඊයේ (31) ගොස් ඒ පිළිබඳව සොයා බැලූ අතර ආදිවාසී නායිකා කේ. ලිසිනෝනා මහත්මිය සමඟ සාකච්ඡා කළ බව ද ආර්ථික අපහසුතා පවතින පවුල් ඇති නමුත් ආහාර හිඟය නිසා පාසල් ගමන අතහැර දැමූ ළමයින් ගම්මානයේ නොමැති බව ඇය එහිදී පවසා ඇති බව ද එහි සඳහන් වේ.

තම දරුවන් කැළෑකොළ කන තරමේ ආහාර අහේනියක නොමැති අතර, ඇතැම් වැඩිහිටියන් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම වැනි හේතු නිසා ඇතැම් ළමයින් කඩින් කඩ පාසල් යන බව ද එය තම ගම්මානයේ අතිශය සාමාන්‍ය සිද්ධියකැයි ප්‍රදේශවාසීන් කිහිප දෙනකුම රාජ්‍ය නිලධාරීන්ට පවසා ඇති බව ද ජනාධිපති කාර්යාලය එවා ඇති ලිපියේ සඳහන් කර ඇත.

ප්‍රාදේශීය ලේකම්වරයා සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා දළුකාන මලියදේව ප්‍රාථමික විද්‍යාලයට ගොස් විදුහල්පතිවරිය, ආචාර්ය මණ්ඩලය සහ ඒ අවස්ථාවේ පැමිණ සිටි දෙමාපියන් සමග සාකච්ඡා කළ බව ද එහිදී පුවත්පතේ පළවී තිබූ ආකාරයේ ප්‍රශ්නයක් හෝ ආහාර හිඟය නිසා පාසල් ගමන අතහැර දැමූ ළමයින් ගම්මානයේ නොමැති බව ඔවුන් පැවසූ බව ද එහි සඳහන් වේ.

සෑම දිනකම දානපතියන්ගේ ආධාර ඇතිව දරුවන්ට උදෑසන හා දිවා ආහාරය වශයෙන් වේල් දෙකක් පාසලෙන් ලබා දෙන බව ද ඇඳුම්, පොත්පත්, පෑන්, පැන්සල්, බෑග් ආදිය ද දානපතියන් පිරිනමන බව ද එහිදී විදුහල්පතිවරිය රාජ්‍ය නිලධාරීන්ට පවසා ඇති බව ද ජනාධිපති කාර්යාලය එවා ඇති ලිපියේ සඳහන් වේ.

තමා උදෑසන පාසලට ගිය අවස්ථාවේ වර්ග පහකින් සමන්විත පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් පාසලේ සූදානම් කර තිබෙනු දුටු බව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා පැවසූ බව ද එම ලිපියේ සඳහන් වේ.

රාජ්‍ය නිලධාරීන් සොරිවිල දෙමළ කනිෂ්ඨ විද්‍යාලය හා සිංහල කනිෂ්ඨ විද්‍යාලයට ද ගොස් සොයා බැලූ අතර, එම පාසල්වලට ද උදෑසන හා දිවා ආහාර සිසුන්ට පිරිනමනු දුටු බව ද එම ලිපියේ සඳහන් වේ.

ප්‍රවෘත්ති ලේඛකයාගේ සටහන:-

මෙම පුවතට පදනම් වූයේ දළුකාන ගම්මානයේ ආදිවාසී නායිකා කේ. ලිසිනෝනා මහත්මිය ‘ලංකාදීප’යට කළ ප්‍රකාශයකි.

ඇයගේ ප්‍රකාශය සහිත හඬ පටය ද අප සතුව තිබෙන අතර, පුවතේ නිරවද්‍යතාව තහවුරු කළ හැකි සාක්‍ෂි තිබෙන බව ද ප්‍රකාශ කරමි.