(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) සහ හෙට (30) දිනවලදීත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට  වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේ ද වැසි ස්වල්පයක් ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය

මෙම වැසි තත්වය හෙටින් පසු අඩුවන අතර අනිද්දා (1) සිට ලබන 4 වැනිදා දක්වා බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං  සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.