(ඩයනා උදයංගනී)

විදෙස් රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් වෙත බතික් ඇඳුම් සහිත ත්‍යාග මංජුසාවක් ලබාදීමට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව එම රෙදි පිළි සංකේතාත්මකව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා වෙත ලබාදීම බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (18) සිදුකෙරිණි.

විදේශීය රටවල් අතර ශ්‍රී ලාංකික සන්නාමය සහිත බතික් ,අත්යන්ත්‍ර රෙදි හා දේශීය අත්කම් නිර්මාණ ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් විදේශ රටවල ශ්‍රී ලංකා තනාපතිවරුන් වෙත දේශීය අත්කම් නිර්මාණයන් ප්‍රදානය කිරීම මෙම වැඩපිළිවෙල යටතේ සිදුකෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

බතික්වලින් නිර්මාණය කළ, කමිස, ටයි මෙන්ම කාන්තා නියෝජිතයන්ට සාරි මෙම ත්‍යාග මංජුසාවෙහි ඇතුළත් බවත්, තමන් සේවය කරන රටෙහි පැවැත්වෙන නිල භෝජන සංග්‍රහ ආදී විශේෂ අවස්ථාවන්හිදී ඉන් සැරසී බතික් නිර්මාණ ජනප්‍රිය කරවීමට කටයුතු කරන්නැයි තමන් තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් දයාසිරි ජයසේනර මහතා කීවේය.

ලක්සල ප්‍රවර්ධන වැඩපිළිවෙලේ එක් කටයුත්තක් ලෙස තමයි මෙය සිදුකරන බව ද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම මෙරටට ආවේණික මුරායුධ, සේසත්, මැටි භාණ්ඩ ආදී නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට තානාපති කාර්යාලවල කුඩා ඉඩක් වෙන් කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ, බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, විදේශීය රටවල සිටිනතානාපතිවරුන් 63 දෙනෙකු ද මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ මෙයට සහභාගී විය.