(ඩී.ජී.සුගතපාල)
 
දකුණු පළාතේ සිසුන් 200ට අඩු පාසල්වල සියලුම සිසුන්ට ලබන ජනවාරි මාසයේදී නොමිලේ පාසල් උපකරණ  ලබාදීමට සැලසුම් කර ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ අනුව, පොත්පත්, සපත්තු, මේස්, පාසල් බෑග්, නිල ඇඳුම් ඇතුළු පාසල් උපකරණ ඔවුන්ට සැපයෙනු ඇත.
 
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරි එම්. ජී. නිහාල් මහතා පැවසුවේ මේ සඳහා රුපියල් මිලියන 175ක් වැයවන බවය.
 
දැනට දකුණු පළාතේ සිසුන් 200ට අඩු පාසල් 539ක් තිබෙන අතර ඒවායේ ඉගෙනගන්නා සිසුන් සංඛ්‍යාව 50461කි.
 
සිසුන් 200ට අඩු පාසල් වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ ඇල්පිටිය කලාපයේ වන අතර එම සංඛ්‍යාව 70කි. ගාල්ල කලාපයේ පාසල් 62ක්ද උඩුගම කලාපයේ පාසල්44ක්ද මාතර කලාපයේ පාසල් 43ක්ද අකුරැස්ස කලාපයේ පාසල්37ක්ද මොරවක කලාපයේ  පාසල් 38ක්ද මුලටියන කලාපයේ පාසල්49ක්ද තංගල්ල කලාපයේ පාසල් 65ක්ද වලස්මුල්ල කලාපයේ පාසල් 41ක්ද හම්බන්තොට කලාපයේ පාසල් 50ක්ද සිසුන් 200ට අඩු පාසල් වේ.
 
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කල දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ මෙම පාසල්වල ළමයින්ට පාසල් උපකරණවලට අමතරව දිවා ආහාරයද ලබා දෙන බැවින් දරුවන් පාසලට එවීමට දෙමව්පියන් උනන්දුවිය යුතු බවය.