(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ආයෝජනවලට සුදුසු පරිසරයක් නොවන බවත් මෙරට ආයෝජන සිදු කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් බවත් තුර්කි තානාපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

එසේම ශ්‍රී ලංකාවට මුහුණු දීමට සිදුව ඇති තවත් විශාල ගැටලුවක් වී ඇත්තේ මෙරට පුහුණු ශ්‍රමිකයන් රට හැරදා විශාල වශයෙන් විදේශගත වීම බවද ඔහු පැවැසුවේය. ඒ හේතුවෙන් නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවට ශ්‍රම බළකා ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මෙරට ආයෝජන පරිසරය පිළිබඳව කතා කිරීමේදී කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තිබෙන්නේ කුඩා වෙළෙඳපොළක් බවත් මෙරට පරිපාලන පද්ධතිය ඉතාමත් සංකීර්ණ එකක් බවත් තුර්කි තානාපතිවරයා පැවැසුවේය. මෙරට ආයෝජන සඳහා අනුමැතිය ලබා ගැනීමට කාලය ගතවන බවත් එය සංකීර්ණ ක්‍රියාවලියක් බවත් ටර්ගුට් මහතා ප්‍රකාශ කළේය. ගතවන කාලයට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළ කුඩා බැවින් මෙරට තිබෙන්නේ ආයෝජන සඳහා යෝග්‍ය පරිසරයක් නොවන බවද ඔහු පැවැසුවේය.

එසේම මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් සේවය කරන බවත් එම කලාපයේ යම් නොසන්සුන්තාවයක් ඇතිවුවහොත් ශ්‍රී ලංකාවට එය සෘජුව බලපානු ඇති බවත් මෙරට තුර්කි තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

විදේශ ප්‍රේෂණ මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් බවත් මැද පෙරදිග කලාපයේ නොසන්සුන්තාවයක් ඇති වුවහොත් එය සෘජුව මෙරටට බලපානු ඇති බවත් තානාපතිවරයා පැවැසුවේය. සියලුම මැද පෙරදිග කලාපයේ රටවල් සමග එක හා සමාන සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාව උත්සාහ දරන්නේ ඒ නිසාවෙන් බවද ටර්ගුට් මහතා ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් මැද පෙරදිග කලාපයේ නොසන්සුන්තාවක් ඇතිවේදැයි ශ්‍රී ලංකාව කල්පනාවෙන් සිටිය යුතු යැයිද තානාපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව මෙන්ම තුර්කියද යැපෙන්නේ පිටතින් ලබා ගන්නා ඛනිජ තෙල් නිෂ්පාදන මත බවත් ලබා ගන්නා පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලෙහි යම් වෙනසක් සිදුවුවහොත් ඉන් දෙරටේ ආර්ථිකයන්ට විශාල බලපෑමක් එල්ල වනු ඇති බවත් ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාවට ස්වභාවික වායු සහ ඛනිජ තෙල් නොමැති බවද තානාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ හේතුවෙන් පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ ස්වභාවික වායු මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට වෙළෙඳපොළ විවිධාංගිකරණය කිරීමට සිදුව ඇති බවත් මිල උච්චාවචනයන්ට ශ්‍රී ලංකාව මෙන්ම තුර්කියද ඉතාමත් සංවේදී බවත් ටර්ගුට් මහතා ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට සහ තුර්කියට මැද පෙරදිග කලාපයේ සිදුවන වර්ධන නිරන්තරයෙන් ඉතාමත් ඕනෑකමින් අධීක්ෂණය කිරීමට සිදුවන බවද තානාපතිවරයා ප්‍රකාශ කළේය. ඇමෙරිකාව ඉරානයට පහර නොදෙනු ඇතැයි ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි බවත් ජනපති ට්‍රම්ප් ගන්නා තීරණ කිසිවෙකුට නිගමනය කළ නොහැකි බවත් ඔහු පැවැසුවේය.

ඇමෙරිකාවේ තෙල් පිරිපහදු භාවිත කරන්නේ බර ඛනිජ තෙල් බවත් ලොව හොඳම ඛනිජ තෙල් නිපදවන්නේ වෙනිසියුලාව බවත් තුර්කි තානාපතිවරයා ප්‍රකාශ කළේය. එම තෙල් පිරිපහදුවලට ඇමෙරිකාවේ තිබෙන ඛනිජ තෙල් භාවිත කළ නොහැකි බවද ඔහු පැවැසුවේය. ඒ හේතුවෙන් ඇමෙරිකාව වෙනිසියුලාවේ ඛනිජ තෙල් නිෂ්පාදන ලබා ගැනීම ආරම්භ කරනු ඇති බවත් ඉන් බොහෝ රටවලට වෙනිසියුලානු ඛනිජ තෙල් අහිමි වනු ඇති බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.

චීනය, වෙනිසියුලාවෙන් ඛනිජ තෙල් මිලදී ගන්නා ප්‍රධාන රටක් බවත් ඇමෙරිකාව වෙනිසියුලාවේ ඛනිජ තෙල් ලබා ගැනීම ආරම්භ කිරීමත් සමග චීනයට වෙනිසියුලාව වෙනුවට ආදේශක රටක් සොයා ගැනීමට සිදුවනු ඇති බවත් ටර්ගුට් මහතා පැවැසුවේය. බොහෝ දුරට චීනය මැදපෙරදිග රටවල් වෙත යොමු වීමට ඉඩ තිබෙන බවත් ශ්‍රී ලංකාව ඛනිජ තෙල් මිලදී ගන්නේ මැද පෙරදිග කලාපයෙන් බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් මිලදී ගැනීම සඳහා දීර්ඝ කාලීනව ගිවිසුම් ගතවීමට සිදුවන බවත් එය කඩේට ගිහින් බඩු ගන්නා ආකාරයෙන් සිදු කිරීමට නොහැකි බවත් ටර්ගුට් පැවැසුවේය. මෙරට මැද පෙරදිග කලාපයේ තිබෙන රටවල් සමග එළැඹ ඇති ඛනිජ තෙල් මිලදී ගැනීමේ ගිවිසුම් අතරින් කුමන හෝ ගිවිසුමක් ලබන මාස තුනත්, හයත් අතර අවසන් වුවහොත් එවිට ශ්‍රී ලංකාවට සැබෑ ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇතැයි තානාපතිවරයා ප්‍රකාශ කළේය.

චීනය, පැමිණ ශ්‍රී ලංකාවට අත්සන් කළ වෙළෙඳ ගිවිසුමට වඩා වඩාත් හොඳ දීර්ඝකාලීන ගිවිසුමක් අත්සන් කරනු ඇති බවත් එවිට ශ්‍රී ලංකාවට තොග වෙළෙඳපොළෙන් ඛනිජ තෙල් මිලදී ගැනීමට සිදුවනු ඇති බවත් ටර්ගුට් මහතා පැවැසුවේය. ගිවිසුම් මාර්ගයෙන් ඛනිජ තෙල් මිලදී ගන්නේ ස්ථාවර මිලකට බවත් මිල උච්චාවචනයෙන් ගිවිසුම්ගත මිලට බලපෑමක් එල්ල නිවන බවත් ඔහු ප්‍රකාශ කළේය. නමුත් වෙළෙඳපොළ මිලට ඛනිජ තෙල් මිලදී ගන්නා විට මිල උච්චාවචනයෙන් බලපෑමක් එල්ල වන බවද ඔහු පැවැසුවේය.