(සුජිත් හේවාජුලිගේ)

රට පුරා තැන තැන කරන වෙඩි තැබීම් සහ බෝම්බ ගැසීම්වලට සම්බන්ධ වන අපරාධකරුවන් සම්බන්ධයෙන් තාවකාලිකව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙසට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේ මෙවැනි හදිසියේ මතුවන අපරාධ රැලි මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමට මරණීය දණ්ඩනය තාවකාලිකව හෝ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවයි.

ලෝකයේ සමහර රටවල මෙවැනි අපරාධ සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය තාවකාලිකව ක්‍රියාත්මක කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ කිසියම් රැස්වීමකදී මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි.

රට පුරා තැන තැන වෙඩි තැබීම් සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ තැන තැන වෙඩිතැබීම් පාලනය කිරීමට බුද්ධි අංශ ද සම්බන්ධ කරගෙන කිසියම් අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

මෙවැනි හුදෙකලා සිදුවීම් වලින් ජාතික ආරක්ෂාවට කිසිසේත්ම තර්ජනයක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මේ වසරේ ජූලි මස අග භාගය වනවිට දිවයින පුරා වෙඩි තැබීම් සිදුවීම් 22ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථාන වාර්තා පෙන්වා දෙයි. මෙම වෙඩි තැබීම්වලින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දොළොස් දෙනෙක් තුවාල ලැබූහ.