ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

රහස් පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ රාජකාරි කරන වකවානුවේ සිය පෞද්ගලික මෝටර් රථයට ඉන්ධන ලබාගැනීමේදී රජයේ මුදල් රුපියල් 2,43,600ක මුදලක් අවභාවිතය කළ බව කියන පොලිස් අධිකාරිවරයකු සම්බන්ධයෙන් විමර්ශනය කළ රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරි නුවන් ප්‍රසාද් දන්තනාරායන මහතාගේ රාජකාරි ජංගම දුරකතනයට වට්ස්ඇප් මගින් තර්ජනය කර, අසභ්‍ය වචනයෙන් බැණ වැදුණැයි සහකාර පොලිස් අධිකාරිවරයා, පොලිස් අධිකාරිවරයාට එරෙහිව කොටුව පොලීසියට පෙරේදා (17) පැමිණිල්ලක් කර ඇත.

මෙසේ තර්ජනය කළේ යැයි කියන පොලිස් අධිකාරිවරයා රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන් මේ වන විට සේවය අතහැර ගියා සේ සලකා, නිවේදන නිකුත් කර ඇති අයකු බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

මෙම පොලිස් අධිකාරිවරයා විදෙස් රටකට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි එම නිලධාරියා කීය.

මෙම පොලිස් අධිකාරිවරයා රහස් පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ රාජකාරි කළ වකවානුව ඉන්ධන අර්බුදය පැවැති කාලයක් වන අතර, ඔහුගේ පෞද්ගලික මෝටර් රථයට නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්පොළෙන් මාසික ඉන්ධන ප්‍රතිපාදනවලට යටත්ව ඉන්ධන ලබාගැනීමේදී මුදල් අවභාවිතයක් සිදු කර ඇති බව කියමින් රහස් පොලීසියේ ගණකාධිකාරිවරයා රහස් පොලීසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇත.

රහස් පොලීසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව, රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරි දන්තනාරායන මහතා විමර්ශනයක් ආරම්භ කර, මේ සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයා රහස් පොලීසියට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි කොටුව පොලීසිය පවසයි.

මෙම සිදුවීම තමාට වාසි සහගත අයුරින් විමර්ශනය කරන ලෙස පොලිස් අධිකාරිවරයා සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි කියති.

සහකාර පොලිස් අධිකාරිවරයා එම යෝජනාව නොතකා හැර, නීතියට අනුකූලව විමර්ශනයක් පවත්වා, ඉහළ පොලිස් නිලධාරීන්ට වාර්තාවක් දී ඇති බව ද පොලිස් ආරංචිමාර්ගවලින් දැනගැනීමට ඇත.

මෙම පරීක්ෂණ ආරම්භ කළ වකවානුවේ මෙම පොලිස් අධිකාරිවරයා රහස් පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සිට රාජකාරි අවශ්‍යතා මත පොලිස් සමීපරූප ආවේක්ෂණ කොට්ඨාසයට ස්ථාන මාරුවීම් ලබා සිටි අයෙකි.

සහකාර පොලිස් අධිකාරිවරයාට වට්ස්ඇප් මගින් කතා කළ බව කියන පොලිස් අධිකාරිවරයා ‘ඉස්සරහට බලාගමු’ යැයි පවසා, සහකාර පොලිස් අධිකාරිවරයාට තර්ජනය කර, අසභ්‍ය වචනයෙන් බැණ වැදී, පවුලේ අයට ද සාප කර ඇතැයි කොටුව පොලීසියේ නිලධාරියෙක් කීය.

කොටුව පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.