(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් විදේශිකයන් පරිගණක අපරාධ වලට සම්බන්ධ වීමේ ප්‍රවණතාව දිනෙන් දින වැඩිවෙමින් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එම්.යූ.වුට්ලර් මහතා මාධ්‍ය හමුවකදී අද (7) පැවසීය.

නිවාස හෝ ගොඩනැගිලි කුලියට ලබාදීමේදී ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාවේ 2025 සහ 2026 වසර වල පරිගණක අපරාධ කොට්ඨාශයේ සයිබර් අපරාධ වැඩි වෙමින් තිබුණා. මෙම ප්‍රවණතාවය වැඩිවෙමින් තිබෙනවා. 2024 වසරේ සංඛ්‍යාත්මක අගයන්ට වඩා මෙම වසරේ එය වැඩි අගයක් ගන්නවා.මහජනතාව වගකීම් විරහිතව මේ සඳහා ප්‍රවේශයක් ගන්නා නිසා වංචා කරුවන් ඒ සඳහා උත්සාහ කරන අවස්ථා වැඩියි.

පසුගිය සති දෙක තුන තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයන් විවිධ ස්ථානවලින් අත්අඩංගුවට ගැනීම සිදුවුණා. විශේෂයෙන් මොවුන් ආගාමික විගාමික පනත යටතේ වැරදි කර අත්අඩංගුවට ගැණුනා.එමෙන්ම පරිගණක අපරාධ සම්බන්ධයෙන්ද විදේශිකයන් පොලිස් භාරයට ගෙන තිබෙනවා.2026 වසරේ ජනවාරි පළවෙනි දා සිට මේ දක්වා සමස්ත රටින්ම විවිධ වූ වැරදි සඳහා විදේශිකයන් 628 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.මෙම අත්අඩංගුවට පත් සැකකරුවන් අතර ඉන්දීය ජාතිකයන්, වියට්නාම්,චීන මියන්මාර් ,පිලිපීන, සහ කාම්බෝජ ජාතිකයන් සිටිනවා.

කුරුඳු වත්ත, ගල්කිස්ස ,මීගමුව,පෝද්දල, හලාවත,කොස්වත්ත ප්‍රදේශවලින් මෙම විශේෂ අත්අඩංගුවට ගැනීම් සිදුවුනා.

මෙහිදී මහජනතාවට විශේෂ දැනුවත් කිරීමක් කළ යුතුයි. ඔබගේ නිවස ආයතනය හෝ හෝටලයක් ,ගොඩනැගිල්ලක් කුලියට ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව ජනතාව විචක්ෂණශීලීව කටයුතු කළ යුතුයි.එසේ නොකලොත් අවසානයේ සිදුවන්නේ විදේශීය පිරිස් ඔබගේ පරිශ්‍රයේ සිට යම් නීති විරෝධී කාර්යයන් වලට පෙළඹී ගියොත් ඔබත් එහි වරදවල් වල කොටස් කරුවන් බවට පත්වෙනවා.

හැකි සෑම විටම ඔබගේ පරිශ්‍රයන් යම් පාර්ශවයකට කුලියට බද්දට දෙන්නේ නම් ඒ පිළිබඳව ළඟම තිබෙන පොලිසියට දැනුම් දෙන්න.ඕනෑම මොහොතක එවැනි කුලියට සිටින අය පිළිබඳව තොරතුරු ලබාදෙන්නට ජනතාව බැඳී සිටිනවා. එහෙම නැති වුවහොත් ජනතාවත් නිකරුණේ වැරදිකරුවන් බවට පත්වෙනවා යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.